Sunday, September 22, 2024

General line - 0115112241

යුද හමුදාවේ අවි ගබඩාව බිඳ අවි ගෙන ගිය හැටි ගැන අලුත් සැකයක්




අනුරාධපුර කලත්තෑවේ පිහිටි ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකායේ අවි ගබඩාවේ තිබූ ගිනි අවි දෙකක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව යුද හමුදාව පවසනවා.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ කඳවුරේ සේවය කළ නිලධාරීන්ගෙන් සහ සෙබළුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත් බවයි.

කලත්තෑවේ පිහිටි යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ අවි ගබඩාවෙන් ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කඳවුරේ නිලධාරියෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනූව පොලිසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊට පොලිස් නිල සුනඛ අංශයේ ද සහය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කඳවුරේ අණ දෙන නිලධාරියාගේ නියෝග මත එහි කිසිඳු සෙබළෙකුට හෝ නිලධාරියෙකුට කඳවුරෙන් පිටවීම ද තහනම් කර තිබෙනවා.

අවි ගබඩාවේ දොරගුළු කඩා කිසියම් පුද්ගලයෙකු එම ගිණි අවි දෙක පැහැර ගෙන ගොස් ඇති බවයි දැනට සිදු කර ඇති විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

ඉකුත් 28 වැනි දා අවසන් වරට මෙම අවි ගබඩාවෙන් ගිනි අවි පිටතට ගෙන තිබෙනවා. ඒ කඳවුරේ පැවති විසිර යාමේ පෙළපාලියක පෙර පුහුණුවීම් සඳහායි.

ඉන් අනතුරුව ඉකුත්දා කඳවුරේ නිලධාරියෙකු රාජකාරි කටයුතු සඳහා ගිනි අවි ලබා ගැනීමට ගබඩාව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ එහි දොරගුළු කඩා ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

ගිනි අවි සොරා ගත් පුද්ගලයින් අවි ගබඩාවේ වහලයෙන් ඇතුළු වී ඇති බවට සැකකරන බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ.