Monday, April 29, 2024

General line - 0115112241

නීතිවිරෝධී මිනිස් වෙළඳාමේ අවදානමෙන් ලංකාව ගැලවුණ හැටි 




නීතිවිරෝධී මිනිස් වෙළඳාමේ යෙදෙන රටවල් අතරින් මීට පෙර පැවති අවදානම් කලාපයෙන් ඉහළට පැමිණීමට 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හැකිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ශ්‍රී ලංකාව 2013 වසරේ සිට නොකඩවා වසර 4ක්  ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නීතිවිරෝධී මිනිස් වෙළඳාමට ගොදුරු වූ රටක් ලෙස නම් කර තිබුණා.

2016 වසරේත් එහි නිරීක්ෂණ රටක් ලෙස ශ්‍රී ලංකාව පැවති අතර, අවශ්‍ය සාධන මට්ටම කරා ළඟා  නොවුනහොත් ආර්ථීක සම්බාධක පැනවීමට ඉඩකඩ ඇති බව ඔවුන් විසින් දැනුම්දී තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා රජයේ නිසි මගපෙන්වීම මෙන්ම විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළ හේතුවෙන් 2017 වසරේදී ශ්‍රී ලංකාව නිරීක්ෂණ ලැයිස්තුවේ 2 වන මට්ටමේ රටක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන ඇති බවයි කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍යවරිය සඳහන් කළේ, රජය මිනිස් වෙළඳාම තුරන් කිරිම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  කරන අතර  ඒ සඳහා කාර්යාංශයේ නිළධාරීන් ලබාදෙන සහයෝගය ප්‍රශංසනීය බවයි. 


පසුගිය සමයේ නොයෙකුත් අවස්ථාවල ව්‍යාජ තොරතුරු සපයමින් විදෙස් රැකියා සඳහා යොමුවී විදේශ රටවලදී විවිධ කරදරවලට ලක්වූ පුද්ගලයින් පිළිබඳව වාර්තා වූ බවත්, මේ තත්ත්වය අවම කරගැනීම හුදෙක් රජයේ වගකීමක් පමණක් නොව මහජනයාද එකසේ වගකීමෙන් හා අවධානයෙන් කටයුතු කළ යුතු වන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.