Friday, May 3, 2024

General line - 0115112241

උතුරේ සියලු නීතිඥවරුන් අද වැඩ වර්ජනයක

මාධව කුලසූරිය




උතුරු පළාතේ සියලු නීතිඥවරුන් අධිකරණ කටයුතුවලින් ඉවත් වී අද (24) වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. 

ඒ, යාපනයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට විරෝධය පළ කරමින්. 

උතුරු පළාත් නීතීඥවරුන්ගේ සංගමය පැවසුවේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරය සමස්ත අධිකරණ පද්ධතියටම එල්ල වූ ප්‍රහාරයක් බවයි. 

අධිකරණ විනිසුරුවරුන්ගේ සහ අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්නැයි රජයට බල කරමින් වැඩ වර්ජනයේ නිරත වන බව උතුරේ නීතිඥවරුන් පැවසුවා. 

ඔවුන් අවධාරණය කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට හා විනිසුරුවරුන්ට එරෙහි ක්‍රියා වැළැක්වීමට රජය වහා පියවර ගත යුතු බවයි. 

මේ අතර යාපනය නල්ලුර් ප්‍රදේශයේ දී පෙරේදා සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍රගේ දේහය හලාවත, කුමාරකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් තිබෙනවා. 

ඊට පෙර දේහය යාපනය පොලිස් ස්ථානයේද තැන්පත් කර තිබුණා. එහිදී යාපනයේ පොලිස් නිලධාරීන් දේහයට අවසන් ගෞරව දැක්වූවා. 

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. 

ඔහු හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. 

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ නල්ලුර් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කර සිදුවූවක් නොවන බවයි.