Saturday, May 4, 2024

General line - 0115112241

උමා ඔය අවුල විසඳන්න යෝජනා 21ක්




උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළුකාරී තත්වයට කඩිනම් විසඳුම් ලෙස අමාත්‍ය කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා 21කට අනුමැතිය හිමිව තිබෙනවා. 

ඉන් එක් යෝජනාවක් වන්නේ උමං මාර්ගයේ ඇති ජල කාන්දුව කඩිනමින් වසා දැමීමයි. 

ඒ සඳහා ජාත්‍යන්තර විශේෂඥ උපදෙස් සහ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ පූර්ණ අධීක්ෂණයට යටත්ව එකඟ වූ කාල සීමාව තුළ ඉරාන සමාගම කටයුතු කළ යුතු වනවා. 

දැනටමත් විදුම් කටයුතු අත්හිටුවා ඇති ව්‍යාපෘතියේ ඉදිරි විදුම් කටයුතු පිළිබඳ විධිමත් නිර්දේශයකින් පසු යළි සලකා බලනු ඇති. 

ඒ සඳහා ජාත්‍යන්තර විශේෂඥ නිර්දේශවලට අමතරව අදාළ සියලු විෂය ක්ෂේත්‍රවල නියෝජනයන්ගෙන් යුත් දේශීය විද්වත් කමිටුවක් මඟින් ද ලබාගන්නා නිර්දේශ මත පමණක් එය සිදු කිරීමට නියමිතයි. 

බලපෑමට ලක්ව ඇති කුඩාවැව් 07ක් හා පාසල් 18ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ද අනුමැතිය හිමිව තිබෙනවා. 

බලපෑමට ලක්ව ඇති නිවාස ණය හා වගා ණය වාරික ආපසු කැඳවීම සඳහා වසර 02ක කාලයක් ලබාදෙනු ඇති. 

හානියට පත් දේපල වෙනුවෙන් කඩිනමින් වන්දි ගෙවීමටත්, පානීය ජල ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදීමටත් එහිදී යෝජනා කර තිබෙනවා.