Saturday, May 4, 2024

General line - 0115112241

යාපනයේ වෙඩි තැබීමට හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුත් හවුල්




යාපනය නල්ලුර් ප්‍රදේශයේදී මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන්ට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු ද සම්බන්ධ වී ඇතැයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින සංඛ්‍යාව දෙකක්. 

මේ දක්වා සිදු කර ඇති මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇති කරුණු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. 

ඉන්පසුව ඇති වූ සිද්ධිය ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විස්තර කළා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරා සහ ඥාති සහෝදරයෙක්.   

මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ දේහය ඊයේ (23) පස්වරුවේ ඥාතීන් වෙත භාරදුන්නා. 

ඒ අවස්ථාවට මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් ද එක්ව සිටියා. 

එහිදී ජීවිතක්ෂයට පත්වූ සැරයන්ගේ බිරිඳ හමු වූ මහාධිකරණ විනිසුරුවරයා හැඩූ කදුළින් ඇය ඉදිරියේ වැඳ වැටෙමින් ශෝකය පල කිරීම සංවේදි සිද්ධියක් වුණා. 

ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර වසර 17ක කාලයක් මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක රාජකාරි සිදු කර ඇති බවයි යාපනය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ. 

වෙඩි ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලැබූ අතර ඔහු මේ වනවිටත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ සුවදුක් විමසීමට ද ඊයේ පැමිණ සිටියා. 

මහාධිකරණ විනිසුරුවරයා ගමන් කරමින් සිටි අවස්ථාවේ නල්ලුර් ප්‍රදේශයේ දී සිදු කෙරුණු වෙඩි තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හෙළා දැක තිබෙනවා. 

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන්ගේ අභාවය පිළිබඳව ද ජනාධිපතිවරයා සිය කණගාටුව පළ කළා. 

විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් වහාම සිදු කරන ලෙසටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත්තේ.