Saturday, July 27, 2024

General line - 0115112241

ඊසාන දින මෝසම් වැස්සට තව සති 7 යි..- උමා ඔයේ පැළුම් මැද පවුල් 158ක් අනතුරේ  




ඊසාන දිග මෝසම් වැසි වැටීමත් සමග උමා ඔය ව්‍යසනයට මුහුණදී සිටින පුද්ගලයන්ට ජීවිත තර්ජන එල්ලවිය හැකි බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් අනතුරු හඟවනවා.

ඔහු පෙන්වා දෙන්නේ සැප්තැම්බර් මස  15 සහ 20 අතර ඕනෑම මොහොතක මෝසම් වැසි ඇතිවිය හැකි අතර එමගින් උමා ඔය ව්‍යසනයට ලක්ව සිටින  මිනිසුන් පණ පිටින් වැළලෙන දැවැන්ත ඛේදවාචකයක් ඇති  නොවන්නට නම් දැවැන්ත ආපදා කළමණාකරණ වැඩසටහනක් බණ්ඩාරවෙල-ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට අවශ්‍ය බවයි.

ඔහු මේ සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීම පහතින් කියවිය හැකියි.

"බණ්ඩාරවෙල-බදුල්ල පාරේ පටුම ස්ථානය දික්අරාව යි. දැවැන්ත බෑවුමක්, නිම්නයක් දිගේ පහලට මාර්ගය දිව යයි. මාර්ගයට වම් පසින් ‘සිල්වා මෝටර්ස්‘ ගොඩනැගිලි සංකීර්ණය යි. එම කන්ද අවස්ථා 2 ක දී නාය ගොස් ඇත. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනුව නාය යාමේ අවදානම සහිත සලකුණු කළ ස්ථානයකි.


අනෙක් පසින්, ඈත කඳු මුදුණට මදක් පහළින් භික්ෂුණී ආරණ්‍යය යි. එම ස්ථානයේ සිට දැවැන්ත පැලුම් දෙකක් දික්අරාව ඔය දක්වා පහලට ද, එතැන් පටන් මාළු තොග කඩයට ස්ථානයෙන් ඉහළට සිල්වා මෝටර්ස් ගොඩනැගිල්ල හරහා අනෙක් කඳු  ගැටය දක්වා ද දිව යයි. සාමාන්‍ය ඇස් මට්ටමට අනුව කි.මි. 2.5 ක් ද, ඩ්‍රෝන ගණනයට අනුව අඩි 850 කට වැඩි බෑවුමක් ද සහිතව දකුණු පස කන්ද පවතී. වම්පස කන්ද අඩි දහසකට අඩු නැත.

මෙම පැළුම දෙපස කඳු  දෙක මැද පවුල් 158 ජීවත් වෙති. එයින් ගෙවල් 8 කින් මේ වන විටත් ජනතාව ඉවත් කොට ඇත. නමුත්, පුදුමයට කරුණ නිම්නය පාමුළ වැඩිම හානි සිදුව ඇති නිවාස කිසිවකට නාය යාමේ අවදානම මේ දක්වාම විමර්ශනය කොට නොමැතිවීමයි. මෙහි ඇති සෑම නිවසකම , ගෙවත්තකම, මාර්ගයකම පුපුරායම් සහ  ගිලා බැසීම් පවතී. 



වසරකට දෙතුන් වරක් අප මිනිසා විසින් කැන්දා ගන්නා අපදාවන්ට ලක්වන රටකි. මේ මෝසම් සමය බණ්ඩාරවෙල, ඇල්ල, වෙහෙරගල, කිණිගම, ලියන්ගහවෙල කලාපයට අවාසනාව රැගෙන එන්නේ නම්, මේ බෑවුමේ මිනිසුන් අඩි සිය ගණනක් යට මිහිදන් වනු ඇත.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින් නැරඹිය හැකියි.