Saturday, July 27, 2024

General line - 0115112241

බස් නෑ..උසාවි නෑ - වෙඩි තැබීමට එරෙහිව උතුරම අද නැගිට්ට හැටි (PHOTOS)

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




උතුරු පළාතේ දිස්ත්‍රික් පහටම අයත් සියළු අධිකරණවල කටයුතු අද (24) සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව nethnews.lk වාර්තාකරු පවසනවා.  

ඔහු සඳහන් කළේ අධිකරණවල ගේට්ටු සියල්ලටම ඉබි යතුරු දමා වසා ඇති බවයි.

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන්ගේ ආරක්ෂක නිලධාරියාට පසුගිය සෙනසුරාදා (22) යාපනයේ නල්ලූර් කෝවිල අසලදී සිදු කළ වෙඩි තැබීමට විරෝධය පලකිරීමක් වශයෙන් උතුරේ අධිකරණ මේ අන්දමට වසා දමා තිබෙනවා. 

උතුරු පළාත් විනිසුරුවරුන්ගේ සංගමය හා නීතිඥ සංගමය මෙම විරෝධතාවය දියත් කොට තිබුණේ යළිත් මෙවැනි සිදුවීම් සිදුනොවන ලෙස බලපෑම් කරමින්.

උතුරේ අධිකරණ වසා දැමීම නිසා  විභාගවීමට තිබූ සියළුම නඩු දින නියමයක් නොමැතිව කල් ගොස් තිබුණේ කිසිදු විනිසුරුවරයෙකුගේ නියෝගයකින් තොරවයි.

මේ අතර උතුරේ සියළුම පෞද්ගලික බස් සංගම් විසින්ද  වෙඩි තැබීමේ සිද්ධියට විරෝධය පල කිරීම පිණිස සංකේත වැඩ වර්ජනයක් දියත් කොට තිබෙනවා.

වෙනත් පළාත්වල බස් රථ උතුරු ප්‍රදේශයේ  ධාවනය වුවත් උතුරේ බස් සංගම් වලට අයත් කිසිදු බස් රථයක් ධාවනය නොවන බවයි වාර්තා වන්නේ.

මෙම බස් රථ වර්ජනය නිසා උතුරේ ගම්බද වැසියන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටි අතර පාසල් ළමුන්ට හා රාජකාරී සදහා බස් රථ වලින් නගර වලට පැමිණෙන පිරිසට විශාල බාධාවක් එල්ල වී තිබුණා.