Saturday, May 4, 2024

General line - 0115112241

ජාතික යොවුන් දින සැමරුම් පළමු කොඩිය ජනපතිට පළඳවයි




ජුලි 26 වැනි දිනට යෙදෙන ජාතික යොවුන් දිනයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන යොවුන් කොඩි දින වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළදවීම අද (25) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගගේ විසින් යොවුන් දින සැමරුම් පළමු කොඩිය ජනාධිපතිතුමා වෙත පැළඳවීම සිදු කළා.

ජගත් තරුණ වර්ෂය වශයෙන් නම් කොට තිබූ 1985 වසරේදී ජාතික යොවුන් කොඩි දිනය ප්‍රකාශයට පත්කෙරුණා.

2011 සිට 2015 දක්වා එය ක්‍රියාත්මක නොවූ අතර නැවත වත්මන් රජය යටතේ 2016 වසරේ සිට ජාතික යොවුන් දින සැමරුම් වැඩසටහන් ක්‍රියාවට නැංවෙනවා.

ඒ අනුව මෙවර යොවුන් කොඩි දිනය ක්‍රියාත්මක වන්නේ 28 වන වරටයි.

දිවයින පුරා පිහිටුවා ඇති යෞවන සමාජ 13,000ක, යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල 334 ක හා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දිවයින පුරා මෙම කොඩි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

තරුණ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම මෙහි අරමුණ වන අතර යෞවන සමාජ විසින් හදුනාගත් සුදුසු ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඒ යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, අර්ජුන රණතුංග, දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් උපුල් සඳරුවන්, පරිපාලන ලේකම් සහ දිස්ත්‍රීක් තරුණ සේවා නිලධාරි මහේෂ් තිලකරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.