Saturday, May 4, 2024

General line - 0115112241

හමුදාව කොළොන්නාවේ බලය අල්ලයි - ඇතුළේ සිටි තෙල් සේවකයන්ට කළ දේ මෙන්න (PHOTO)




ඔබේසේකර පුර ප්‍රදේශයේ ගේට්ටුවකින් යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මේ වනවිට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ඇතුළුවී තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් සමස්ත පරිශ්‍රයේම බලය සියතට ගෙන ඇති බවයි එහි සිටින nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

ඉන් අනතුරුව කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ සිටින සේවකයන්ව ආයතන පරිශ්‍රයෙන් ඉවතට දමනු ලැබුවා.

මේ අතර පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලූම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.

ඒ, අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි. ඕනෑම වරායක් තුළ නැවකින් ඉන්ධන ගොඩබෑම, ගබඩා කිරීම, භාර දීම, ප‍්‍රවාහණය හෝ ඉවත් කිරීමට අදාළව සිදු කළ යුතු සියලූ සේවාවන් අත්‍යවශ්‍ය සේවයක් වනු ඇති.

ඒ අනුව ඛණිජ තෙල් සේවකයන් සියල්ලන්ම අත්‍යාවශ්‍ය මහජන සේවා පනත ප්‍රකාරව ඉක්මණින් සේවයට වාර්තා කළ යුතු වනවා.

මෙම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවන් ඇති වීමට හැකියාවක් පැවතීම සලකා මෙලෙස විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ. මේ අනුව බෙදා හැරීම ඇතුළු එම සේවාවන් සැපයීම සඳහා යුද සහ නාවික හමුදාව ද සූදානමින් පසුවනවා.  

මේ අතර හම්බන්තොට වරාය ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඛණිජ තෙල් සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි.

ඊයේ (25) රාත‍්‍රියේ ද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.  

ඇතැම් ස්ථානවල කිලෝමීටර් 02 ත් 03 ත් අතර දිගු පෝලිම් දක්නට ලැබුණා. ඇතැම් පිරවුම්හල් ඉන්ධන අවසන්වීම හේතුවෙන් වසා දමා තිබූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

තම ගැටළුවලට නිසි විසදුමක් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඩී.ජේ රාජකරුණා පැවසුවේ. 

කෙසේ වෙතත් ඉන්ධන බෙදාහැරීම සඳහා සූදානම් බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ. 

සිය ඉන්ධනහල්වලින් ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බවයි ලංකා අයි  ඕ සී සමාගම පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ ත‍්‍රීකුණාමලයේ ගබඩාවලින් ඉන්ධන රැගෙනවිත් බෙදා හැරීමට කටයුතු කරන බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ. 

ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් ධාවනයට ද මේ වනවිට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්. වර්ජනය තවදුරටත් පැවතීම හේතුවෙන් අද දවස තුළ බස් රථ ධාවනය සිදු කරන්නේ කෙසේදැයි නෙත් නිවුස් විමසා බැලුවා. 

එහිදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්දියානු ඉන්ධන සමාගම තුළින් ඇතැම් බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට හැකි වූ බවයි. කෙසේවෙතත් වර්ජනය දිගින් දිගටම පැවතියහොත් බස් රථ ධාවනයද නවතා දැමීමට සිදු විය හැකි බවයි පෙන්වා දෙන්නේ.

දුරගමන් බස් සේවා ක‍්‍රියාත්මක වන්නේ කෙසේදැයි නෙත් නිවුස් විමසා සිටියේ අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාරගෙන්. ඔහු සඳහන් කළේ ගමන් වාර රැසක් නියමිත වේලාවට ධාවනය කිරීමට නොහැකි වී ඇති බවයි. අද දවසේද බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූවහොත් ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදු විය හැකි බවත් සඳහන් කළා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රධාන මෙහෙයුම් අධිකාරී පී.එච්.ආර්.ඩී. චන්ද්‍රසිරි ප‍්‍රකාශ කළේ වර්ජනය දිගින් දිගටම පැවතුනහොත් ලංගම බස් ධාවනය ද අඩපන වන බවයි. 

මේ අතර මතභේදයට තුඩු දී ඇති හම්බන්තොට වරාය ගිවිසුම මුල් කර ගනිමින් වරාය සේවකයින් ද අද (26) දිනයේ උද්ඝෝෂණයක් සිදු කිරීමටයි සූදානම් වන්නේ.