Monday, September 23, 2024

General line - 0115112241

තෙල් ගැටලුව තවත් හිර වෙයි - දෙපැත්තෙන්ම කොන්දේසි




ඛණිජ තෙල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මක වනවා. ඒ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් කිසිඳු විසදුමක් නොලැබුණු බව පවසමින්. 

කෙසේ වෙතත් ඛණිජ තෙල් සේවකයින්ට ගැටළු ඇත්නම් සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳා ගැනීමට ඉඩ ලබා දීමට සූදානම් බවයි රජය අද (26) උදෑසන ප‍්‍රකාශ කළේ.

එබැවින් මහජනතාව පත්වන පීඩාව සහ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙසට වර්ජනයට එක්ව සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් රජය ඉල්ලීමක් ද කළා.

මේ අතර වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. රජයේ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් සාකච්ඡා අවසන් වන තෙක් හමුදාවේ මැදිහත්වීමෙන් හෝ තෙල් බෙදා හැරීම නොකළ යුතු බවත් ඔවුන්ගේ මතයයි.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරයා හමුවීමට අද උදෑසන වේලාවක් ඉල්ලා සිටි බවයි. එහෙත් තව දුරටත් වර්ජනයේ නිරත වන්නේ නම් සාකච්ඡාවක් ලබා දීමට නොහැකි බවයි එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ. ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කිරීමට අවශ්‍ය නම් වර්ජනය නතර කර පැමිණෙන ලෙසට ද දැනුම් දී තිබෙනවා.