Saturday, May 4, 2024

General line - 0115112241

වර්ජනය නිසා ඇති වූ ඉන්ධන හිඟය මගහැරෙන්න යන කාලය මෙන්න




ඛණිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනය අවසන් කෙරුණත් බොහෝ ප‍්‍රදේශවල ඉන්ධන සැපයුම තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම අද (27) අලුයම වන විටත් ආරම්භ වී නොතිබුණ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ඒ අනුව කොළඹින් පිටත ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි වනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වැඩවර්ජනය කැඳවා තිබූ ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවෙන් ද විමසීමක් කළා.

එහි කැදවුම්කරු ඩී.ජේ රාජකරුණා පැවසුවේ වැඩවර්ජනය අවසන් කෙරුණත් බොහෝ ඛණිජ තෙල් සේවකයින් සේවයට වාර්තා කරන්නේ අද උදෑසන බවයි. ඒ අනුව අද දිනයේ සියලු අපහසුතා මගහැරී යනු ඇති බවද සඳහන් කෙරුණා.

පවතින හිඟය සමනය කර රට පුරා ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට දින දෙකක් පමණ ගත වනු ඇතැයි ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා. 

ඉන්ධන සැපයුම තවමත් යථා තත්ත්වයට පත්වී නැතත් දුම්රිය ධාවනයට ඉන් බාධාවක් සිදු නොවන බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා. සතියකට පමණ ප‍්‍රමාණවත් ඉන්ධන තොග තමන් සතුව තිබෙන බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර වැඩවර්ජනයේ යෙදී සිටිය දී අත්අඩංගුවට ගැණුනු ඛණිජ තෙල් සේවකයින් ඊයේ රාත‍්‍රීයේ ඇප මත මුදා හැර තිබෙනවා.