Monday, May 6, 2024

General line - 0115112241

හෘද සැත්කම් සඳහා සුබ පණිවිඩයක් - ස්ටෙන්ස් මිළට පාලනයක් 




හෘද සැත්කම් සඳහා භාවිත කෙරෙන ස්ටෙන්ස් රජයේ රෝහල්වල දී තවදුරටත් නොමිලේ ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

ඒ අනුව ඊයේ  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම මිලක් නියම කර ඇත්තේ පෞද්ගලික රෝහල්වල සිදු කෙරෙන හෘද සැත්කම්වලට විවෘත වෙළඳපොලෙන් මිල දී ගන්නා ස්ටෙන්ස් සඳහා බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ. 

ලෝහමය වර්ගයේ ස්ටෙන්ස් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 24,000ක්. මීට පෙර එවැනි ස්ටෙන්ස් එකක් රුපියල් 75,000ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරුණා. 

ඖෂධ මුදා හරින ස්ටෙන්ස් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් එක් ලක්ෂ 5,000ක්. මීට පෙර එවැනි ස්ටෙන්ස් එකක මිල රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වුණා. 

ස්ටෙන්ස් සඳහා මෙම මිල නියාමනය සිදු කර ඇත්තේ 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුවයි. 

මීට පෙර ඖෂධ වර්ග 48කටද මෙලෙස උපරිම මිලක් නියම කෙරුණා. ඉදිරියේ දී තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා ද මිල නියාමනයක් සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.