Tuesday, September 24, 2024

General line - 0115112241

විභාගය නිසා උත්සව රැස්වීම් ඉදිකිරීම් ආදී සියල්ල තහනම් කෙරේ




අනිද්දා (08) ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග වංචා සහ වෙනත් අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුම් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විභාග ශාලාවක් තුළ හෝ ඉන් පිටත එවැනි කිසියම් වංචාවක් හෝ අක‍්‍රමිකතාවක් සිදු වන්නේ නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

පැමිණිලි භාර ගැනීම සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකයද, පාසල් විභාග සංවිධාන ශාඛාවේ සියලු දුරකතන අංක ද විවෘතව තිබෙනවා.

තමන් වෙත ලැබෙන සෑම පැමිණිල්ලක්ම විධිමත් ලෙස විමර්ශනය කරන බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ සඳහා සියලු ප‍්‍රදේශ ආවරණය වන පරිදි විමර්ශන කණ්ඩායම් සූදානම් කර තිබෙනවා.

මේ අතර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට බාහිර පාර්ශ්වයන්ගෙන් අවහිරතා ඇතිවීම වළක්වාලීමට ද විශේෂ අවධානය යොමු කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශාලාධිපතිවරුන් ඇතුළු විභාග කාර්ය මණ්ඩලයට සහ අයදුම්කරුවන්ට හැර වෙනත් කිසිවෙකුට විභාග මධ්‍යස්ථානවලට ඇතුළුවීම තහනම් වනු ඇති.

විභාග මධ්‍යස්ථාන පිහිටි පරිශ‍්‍රවල පංති පැවැත්වීම, ක‍්‍රීඩා තරග හෝ වෙනත් තරග පැවැත්වීම, උත්සව පැවැත්වීම හෝ රැස්වීම් පැවැත්වීම ද ඉදිකිරීම් සිදු කිරීම ද තහනම් වනවා.
 
මීට අමතරව අයදුම්කරුවන්ට බාධා වන කිසියම් ක‍්‍රියාවක් ඇත්නම් ඒ පිළිබඳ වහාම පොලිසියට දැනුම් දෙන ලෙස ශාලාධිපතිවරුන්ට ද උපදෙස් දී තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

119 හදිසි ඇමතුම් අංකයට හෝ 0112 42 11 11 දුරකතන අංකයෙන් පොලිස් මූලස්ථානයට වෙනත්  ඕනෑම කෙනෙකුට ද එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් තුන්ලක්ෂ පහළොස් දහස් 227 දෙනෙකු පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන ගණන 2230ක්.