Tuesday, September 24, 2024

General line - 0115112241

ඡන්දෙට කලින් පක්ෂ 03ක් හවුලෙන් ගැලවෙන්න යයි

දිනසේන රතුගමගේ




දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂ තුනක් වන ටෙලෝ, ප්ලොට් හා ඊ.පී.ආර්.එල්.එෆ්. යන පක්ෂ තුන ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට ක්‍රියාකරගෙන යන බව උතුරේ දේශපාලනඥයින් ප්‍රකාශ කරනවා.

දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ගෙන් ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි  සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ට දිගින් දිගටම අසාධාරණකම් සිදුවීමත්, ටෙලෝ සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය අතර උග්‍ර මත ගැටුමක් හට ගැනීමත් සමගම මෙම තීරණය කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

මේ පිළිබදව එම පක්ෂ තුනේ නායකයින් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා ඇත්තේ තව දුරටත් දෙමළ ජාතික සන්ධානය සමග සිටීමෙන් සුළු දෙමළ පක්ෂ වටා සිටින ආධාරකරුවන් තමන්ට අහිමි වී යා හැකි බවයි.

ඉලංගෙයි තමිල්අරසු පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් සිදු කරන බලපෑම් සහ පළාත් සභාවේ මන්ත්‍රි   ධුරයක් හුවමාරු කරගැනීම යටතේ ඉලංගෙයිතමිල් අරසු පක්ෂය වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

සුළු දෙමළ පක්ෂවලට නැගී සිටීමට ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඉඩ නොදීම නිසා ඉතාම ඉක්මනින් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීම වැදගත් බව මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වන්නේ නම් ඊළඟට පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකට පෙර  ඉවත් විය යුතු බවටද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.