Tuesday, September 24, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූ  මංගලගේ මහජන සම්බන්ධතා නිලධාරියා නිර්දෝෂි වූ හැටි මෙන්න 




අමාත්‍ය මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර සහ තවත් පුද්ගලයින් තුන් දෙනෙකු පෙරේදා (05) රාත්‍රීයේ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීරගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක‍ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය පළ කර තිබූ වාර්තා දෝෂ සහිත බව පෙන්වා දෙමින්. 

අමාත්‍ය මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර ඔහුගේ මිතුරන් තුන් දෙනෙකු සමග රාත්‍රී සාදයක් සඳහා යමින් සිටියදී පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි අදාළ නිවේදනයේ සඳහන් වනවා. 

මෙම පිරිස ගමන් කළ ජිප් රථයේ තිබී මත්ද්‍රව්‍ය සමහරක්ද පොලීසියට හමුවී ඇති බවයි එහි සඳහන් වන්නේ. 

කෙසේ වෙතත් ජීප් රථය සහ හමුවූ මත්ද්‍රව්‍ය ද තමන්ගේ බවට එහි සිටි අයගෙන් කෙනෙකු පිළිගෙන ඇතැයිද ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක්ද පොලීසියට හමුවී ඇතැයිද නිවේදනයේ දැක්වෙනවා. 

අත්අඩංගුවට ගත් සමීර මනහර සහ අනෙක් තුන්දෙනාම ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණු බවද මෙම නිවේදනයේ සඳහන්. 

කෙසේ වෙතත් පොලීසිය විසින් එහිදී ඉදිරිපත් කෙරුණු බී වාර්තාවට අනුව ජීප් රථය සහ මත්ද්‍රව්‍ය සන්තකව සිටි තැනැත්තා හැර සමීර මනහරට හෝ අනෙක් පුද්ගලයින් දෙදෙනාට චෝදනා නැගීමට තරම් තොරතුරු තිබී නොමැති බවයි අමාත්‍ය මංගල සමරවීරගේ මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ. 

ඔවුන්ට මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ගොණු නොකරන බව අධිකරණයේ පෙනී සිටි පොලිස් නිලධාරියාද ප්‍රකාශ කර ඇතැයි අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. 

සමීර මනහර සහ ජීප් රථය සහ මත්ද්‍රව්‍ය අයත්ව සිටි තැනැත්තා හැර සෙසු පුද්ගලයින් දෙදෙනා ඇපමත මුදා හැරීමටද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර වරදකරුවෙකු කරමින් ඇතැම් මාධ්‍ය පළ කර තිබෙන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එමගින් අවධාරණය කර තිබෙනවා.