Monday, May 6, 2024

General line - 0115112241

රවී කරුණානායක ඇමති පුටුව හැර යෑමේ ප්‍රකාශය අද 1.30ට - කටයුතු සිදුවන්නේ මෙලෙසයි




විදේශ අමාත්‍ය රවී කරුණානායක   අද (10) පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සහ ඊට හේතු වූ කරුණු පිළිබඳව මෙහිදී අනාවරණය කරණු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය පවසන්නේ බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වීමේ  අරමුණ ඇතිව ඔහු ඉල්ලා අස්වනු ඇති බවයි.

ඊයේ (09) ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක අතර විශේෂ හමුවක් ද පැවැත්වුණා.

බැඳුම්කර ගණුදෙනුවට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගේ නම සම්බන්ධවීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.

අමාත්‍ය රවී කරුණානායක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගිය 02වන දින පැමිණි අතර  නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම සිදු කරනු ලැබුවා.

හිටපු මුදල් ඇමතිවරයාගෙන් මුලින්ම විමසන ලද්දේ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳවයි.

විසිපස් වසරක් පමණ තිස්සේ ඇලෝසියස් පවුල, තම පවුලේ මිතුරන් වන බවත් වසර 10 ක් හෝ 12ක් තිස්සේ අර්ජුන් ඇලෝසියස් හඳුනන බවත් රවී කරුණානායක ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම තම දියණියන් සහ අර්ජුන් ඇලෝසියස් ගේ දියණියන් අතර ද මිතු දම් පවතින බව ඔහු කියා සිටියා.

ඒ හැරෙන්නට තමා සහ අර්ජුන් ඇලෝසියස් අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවක් නොමැති බව රවී කරුණානායක එහිදී අවධාරණය කළා.