Tuesday, September 24, 2024

General line - 0115112241

රවීට ජනපති කිව්ව දේ මෙන්න




අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග මොනවාදැයි කථානායකවරයා අද (10) දිනයේ පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි.
විශ්වාසභංගය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් ද හෙට (11) දිනයේ තීරණයකට එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කථානායක කරූ ජයසූරිය මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දුන්නේ විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව කල්මරමින් සිටින බවයි විවිධ පාර්ශ්ව චෝදනා කරන්නේ.

කෙසේවෙතත් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය ද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ "විශ්වාසභංග යෝජනාවක් ගේන්න අවශ්‍ය නැහැ. දැනටමත් ජනාධිපතිතුමා කියලා තියෙන්නේ රවී කරුණානායක හිටපු මුදල් ඇමතිතුමාට තීන්දුවක් ගන්න කියලා. රවී කරුණානායක මුදල් ඇමති කාලේ මට විතරක් නෙමෙයි අනෙක් මහඇමතිවරුන්ටත් ගැටලු තිබ්බා.. කොහොම වුණත් මේ චෝදනාවට එතුමා වැරදිකරු බව දැන් මේ රටේ ජනතාව දන්නවා. තවත් දෙයක්, විශ්වාසභංගයක් ගෙනාවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට ඒකට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ." යනුවෙනි.  

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඉකුත්දා මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දුන්නේ බැදුම්කර කොමිසමේ අනාවරණ වූ කරුණු ද පදනම් කර ගනිමින්.

රවී කරුණානායක අමාත්‍යවරයා සමග ඊයේ (09) පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර තිබුණා. අමාත්‍යවරයා ඊයේ පැවති කැබිනට් රැස්වීමට ද සහභාගිවී සිටියේ නැහැ.

කැබිනට් රැස්වීමේදී ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරුන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ද ප‍්‍රකාශ කළේ රවී කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තීරණය ළඟදීම ඉදිරිපත් විය හැකි බවයි.

මේ අතර රවී කරුණානායක අමාත්‍යවරයා අද දිනයේ සිය ධුරයෙන් ඉවත් වනු ඇති බවට ද විවිධ වාර්තා පලවනවා.

ඒ කොන්දේසි 05ක් මතයි. සිය කාර්ය මණ්ඩලය තවදුරටත් තබා ගැනීම හා බැදුම්කර කොමිසමේ කටයුතු මාස 03කින් අවසන් කිරීම ද එම කොන්දේසි අතරට ඇතුළත් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.