Tuesday, May 7, 2024

General line - 0115112241

අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි




අද (10) සවස් කාලයේ නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු-මැද පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

දිවයිනේ  බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවද පෙන්වා දෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවද සඳහන් කරනවා.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද බලාපොරොත්තු විය හැකියි.

ගිගුරුම්  සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළංද  ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්ගතොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක්ද පවතිනවා.

සෙසු මුහුදු ප්‍රදේශවල සවස හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වෙන බවයි වාර්තා වෙන්නේ.

මාතර සිට හම්බන්ගතොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල  සුළගේ වේගය විටෙක පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද පෙන්වා දෙනවා.