Tuesday, September 24, 2024

General line - 0115112241

විජයදාස ගැන තීන්දුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට - විශ්වාසභංගයක් ආවොත් මහින්දගෙන් ඡන්දය නෑ




අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ළඟදීම තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව ද දැනටමත් ප්‍රකාශ වී අවසන්. 

මෙලෙස මතභේදයට තුඩු දී ඇත්තේ හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මාධ්‍යට කරනු ලැබූ ප්‍රකාශයයි. 

එහි දී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ මහජන දේපළක් වන හම්බන්තොට වරාය නැවත කෙසේ හෝ ජනතාව අතට පත් කර මිස ආපසු නොබලන බවයි.
 
එම ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණයක් විවේචනය කිරීමක් ලෙසටයි එක්සත් ජාතික පක්ෂ ප්‍රබල අමාත්‍යවරුන් පවා හඳුන්වා දී ඇත්තේ. 

ජනාධිපතිවරයා හා සමස්ථ කැබිනට් මණ්ඩලය එකඟ වූ තීරණයක් විවේචනය කිරීම බරපතල ප්‍රශ්නයක් බව ඔවුන් චෝදනා කරනවා. 

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීරණයක් ගත යුතු බවයි එක්සත් ජාතික පක්ෂය ඊයේ කැඳවූ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ. 

මේ අතර රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කුරුණෑගල පැවති උත්සවකින් පසු මාධ්‍ය අමතමින් කියා සිටියේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තීන්දුවක් ගත යුතු බවයි. 

නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 

කෙසේ වෙතත් අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහය නොදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින්. 

එහි දී රවී කරුණානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා. 

මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පනත් කෙටුම්පතක දෙවන වර කියවීම සහ පනත කෙටුම්පතක නියෝගයක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉවත් කර ගැනීමක් ද ඊයේ වාර්තා වුණා.