Wednesday, September 25, 2024

General line - 0115112241

රවී ජනපති හමුවී සමුගත් හැඟුම්බර මොහොතේ රහසිගත තොරතුරු මෙන්න 




රවී කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නේ පාර්ලිමේන්තු ප්‍රකාශයට පෙර දින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පසුගිය කැබිනට් රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, රවී කරුණානායක සහ රාජිත සේනාරත්න  අතර රහසිගත සාකචිඡාවක් පැයක පමණ කාලයක් පැවැත්වූ  අතර  එහිදී රවී කරුණානායක අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා එම හමුවේදී සඳහන් කර ඇත්තේ “රවී මම ගැන නොයෙකුත් කථා ඔයාට ඇතැම් අය කියලා තිබෙනවා. ඒවායේ සත්‍යතාවයක් නැහැ. කොමිසන් සභාවේ සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයා පිළිබදව මම දන්නේ නැහැ. එයාගේ බිරිඳ  ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධූරයට යෝජනා කළේ චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යතුමිය විසින්. මම පත් කළා විතරයි. ඒක නිසා මට ඔයා සමග කිසිදු තරහක් නැහැ. අමනාපවීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මතුව ඇති ප්‍රශ්ණය මත දේශපාලන තීන්දුවක් ගත යුතුයි” යනුවෙනුයි.

ඉන් පසු රවී කරුණානායක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ  ලක්ෂ්මන් යාපා අබේවර්ධන  දෙසතියක් තුල තමා  පිළිබඳව  ජනාධිපතිවරයා තීරණයක් ගන්නා බව මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇති බවයි. එවිට ජනාධිපතිවරයා පැවැසුවේ "මම ලක්ෂ්මන්ට කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. එය අමූලික බොරුවක්. එක එක්කෙනාගේ හිතේ තිබෙන දේවල් මාධ්‍යයට කියනවා. සති දෙකක් විතර ලක්ෂ්මන් දැක්කෙත් නැහැ." යනුවෙනුයි.

රවී කරුණානායක අමාත්‍යවරයා ඉන් පසු කියා සිටියේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන කාලයේද තමන්ට  විරුද්ධව එවැනි ප්‍රකාශ මාධ්‍යයේ පළ කළ බවයි. 

එවිට ජනාධිපතිවරයා සඳහන් කළේ "මම ඔබතුමාට ඉල්ලා අස්වෙන්න යැයි දැනුම් දුන් කතා බොරු. පත්තරවල වාර්තා බොරු ". යනුවෙනුයි.

ඉන් පසු රවී කරුණානායක අමාත්‍යවරයා "ඔබ තුමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මම කැමැත්ත පළ කළා. ඒ ගැන මට මුලින්ම කිවුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා. එම තීන්දුවට අනුව ඔබ තුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළා. තීන්දු තීරණ රැසක් ගත්තා. ඒ රට වෙනුවෙන්. නායකතුමා බේරා ගැනීමට කටයුතු කළා. නමුත් කිසිදු කැපවීමක් නොකළ පිරිස් තමයි අපට දැන් චෝදනා කරන්නේ. මම පක්ෂයත්, ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් ගැන හිතුවා.මම රජය විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ  නිසා මම අද ඉල්ලා අස්වෙනවා "යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර එය ජනාධිපතිවරයාට බාර දී තිබෙනවා.

එය අතිශය හැඟුම්බර මොහොතක් වී ඇති අතර ඉන් පසු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන පසු දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශ කරමින් ඉල්ලා අස්වීම රටටම ප්‍රකාශ කරන ලෙස ඇමතිවරයාට දැනුම් දී තිබෙනවා.