Saturday, April 27, 2024

General line - 0115112241

අවසන් එක්දින තරගයත් පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාස පොතේ නොමැකෙන සටහනක් වදී




ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලිය 5ට - 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (03) ලබාගත් ජයත් සමග සමත් වුණ.

ඊයේ රාත‍්‍රියේ පැවතියේ 05වන සහ අවසන් එක්දින තරගයයි.

ඒ අනුව ශ‍්‍රී ලංකාව පළමු එක්දින තරගයට සහභාගී වූ 1975 වසරෙන් පසු ගතවූ වසර 42ක ඉතිහාසය තුළ සිය මව් රටේ දී එක්දින තරගාවලියක්  5ට 0ක් ලෙස පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වනවා. එමෙන්ම 5ට 0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් ලද ක‍්‍රිකට් ඉතිහාසයේ 07 වන තරගාවලිය මෙය ලෙසටයි වාර්තා පොත් අතරට එක්වුණේ. 

ඊයේ පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියලූ දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 238ක් පමණයි. එහිදී සිව්වන කඩුල්ල වෙනුවෙන් ලහිරු තිරිමාන්න හා ඇන්ජලෝ මැතිව්ස් අතරේ ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගුණා.

එය මෙවර තරගාවලියේ ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු අතර ශතක සබඳතාවක් ගොඩනැගුණු පළමු අවස්ථාවයි. ඉන්දියාව මෙම තරගාවලිය තුළ පමණක් අවස්ථා 07ක දී ශතක සබඳතා ගොඩනගා තිබුණා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දියාව ජයග‍්‍රාහී සීමාව පසුකර ගියේ පන්දුවාර 46යි පන්දු 03ක් තුළ කඩුලූ 04ක් පමණක් බිඳවැටී තිබියදීයි.

නායකත්වයේ විශිෂ්ට ඉණිමක් ක‍්‍රීඩා කළ විරාට් කෝලි නොදැවී ලකුණු 110ක් රැස් කළා. එය ඔහු එක්දින පිටියේ රැස් කළ 30 වන ශතකයයි.

ඒ අනුව එක්දින පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ දෙවන ක‍්‍රීඩකයාගේ වාර්තාව සම කිරීමට ඔහු සමත් වුණා. ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ශතක 49ක් රැස්කරගෙන සිටින සචින් තෙන්ඩුල්කාර්යි. 

කෝලි ශ‍්‍රී ලංකාවට එරෙහිව ඊයේ රැස් කළ ශතකය ශ‍්‍රී ලංකාවට එරෙහිව රැස් කළ 08වන එක්දින ශතකය ද වනවා. ඒ අනුව ශ‍්‍රී ලංකාවට එරෙහිව ශතක 08ක් රැස් කරමින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට ද කෝලි ඊයේ සමත් වුණා.

එමෙන්ම ඔහු ඊයේ තරගයේ දී මේ වසර තුළ පමණක් එක්දින ලකුණු 1000 සීමාවේ පසුකර යාමට ද සමත් වුණා. ඒ, තරග 18කදීයි. 

ඊයේ තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. තරගාවලියේ වීරයා වූයේ ජස්ප‍්‍රිට් බුම්රායි. ඔහු මෙවර තරගාවලියේ දී බිඳහෙලූ මුළු කඩුලූ සංඛ්‍යාව 15ක්.

එය දෙරට අතර තරගාවලියක දී ක‍්‍රීඩකයෙකු බිඳ හෙලූ වැඩිම කඩුලූ සංඛ්‍යාව වනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ කඩුලූ 13ක් බිඳ හෙළා තිබූ අජන්ත මෙන්ඩිස්.

එමෙන්ම ඉන්දීය ක‍්‍රීඩකයෙකු තරග 05කින් යුත් තරගාවලියක දවාගත් වැඩිම කඩුලූ සංඛ්‍යාවේ වාර්තාව ද මෙයයි. 

මේ අතර ශ‍්‍රී ලංකා - ඉන්දියා තරගාවලියේ පන්දුවාර 20 තරගය ලබන බදාදා පැවැත්වෙනවා.