Tuesday, April 30, 2024

General line - 0115112241

ICCය කරන පරීක්ෂණය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය කියයි




ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය, මෙරට කි‍්‍රකට් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ ආරම්භ කළ මූලික විමර්ශනයට පූර්ණ සහය ලබාදෙන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

මෙම පරීක්ෂණය සිදුකරන්නේ මෑත කාලයේ විවිධ පාර්ශ්වයන් විසින් ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සම්බන්ධයෙන් පළ කර ඇති විවිධ චෝදනා පිළිබඳ සොයා බැලීමටයි.

පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරග කිහිපයකදී තරග රටාවන් අස්වාභාවික ලෙස වෙනස් වූ බවත් එය හදිසි හස්තයක් මගින් සිදු කළේදැයි සැක මතුවන බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 40 දෙනෙකු ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදු කළා.

පසුව ප්‍රමෝද්‍ය සඳහන් කළේ තමා කළ ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රිදවීමට අපේක්ෂා නොකළ බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ මෙම පරීක්ෂණවලට මූලික හේතුව වී තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා කියා සිටියේ එම පරීක්ෂණය කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා උපරිම සහය ලබාදෙන බවයි.

එමගින් චෝදනා ලත් ක‍්‍රීඩකයින් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු හැකි ඉක්මණින් අවසන් කිරීම අරමුණ වනවා. ඔවුන් හට කි‍්‍රකට් ක‍්‍රීඩාවේ යෙදීමට අවශ්‍ය නිදහස සහ මානසික ඒකාග‍්‍රතාව ලබාදීමට කටයුතු කරන බවයි ප‍්‍රධාන විධායක නිලධාරීයා කියාසිටියේ. 

මෙම පරීක්ෂණයට අදාළ තොරතුරු ඇති සහ තොරතුරු දන්නා සියලූ දෙනාට ඒවා ලබාදෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.