Tuesday, April 30, 2024

General line - 0115112241

පන්දමත් නොදැල්වේ..ආසියානු තාරකාවට බොහොමයක් හරස් වේ- ජාතික ක්‍රීඩා උළෙලේ වෙච්ච දේ මෙන්න 

සුගත් ධර්මප්‍රිය /කසුන් කැළුම්




පසුගිය දා නිමා වූ 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී අර්බුධ රැසක් මතුව ඇති බව nethnews.lk වෙත වාර්තා වනවා. 

යාපනයේ සිට  දින 20ක් මග ගෙවා  රැගෙන පැමිණි  ගිණිසිළුව  ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී දල්වා ගැනීමට නොහැකි වූ අතර සමාරම්භක සහ සමාප්ති උළෙලවල්හිදී ආචාර පෙළපාලිවල වර්ජන සිදුවීම් රැසක් සිදුවුණා.

ගෑස් නලයක සිදුව තිබූ දෝෂයක් හේතුවෙන් ගිණිසිළුව දැල්වීමට නොහැකිවී ඇති අතර මේ හේතුවෙන් කිසිදු ගෙවීමක් අදාළ කොන්ත්‍රාත්කරුට සිදු නොකිරීමට අමාත්‍යංශය මේවන විට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා උළෙලට සතියකට පමණ පෙර ගිණි සිළුවේ ඉදිකිරීම් නිම කිරීමට නියමිතව තිබුණද අදාළ කොන්ත්‍රාත්තුව කළ ආයතනය උළෙලට පෙර දින දහවල් ඉදිකිරීම ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.

ඉදිකිරීම ද අංග සම්පූර්ණ එකක් නොවූ හෙයින් ක්‍රීඩා උලෙලට එයින් කිසිදු ආලෝකයක් නොවීය.

සමාරම්භක සහ සමාප්ති උළෙලවල්හිදී ආචාර පෙළපාලිවල දිස්වූ වර්ජන සිදුවීම් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ 
සමාරම්භක උළෙල දකුණු පළාත් කණ්ඩායමේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන්හි වර්ජනය කර ඇත්තේ හිටපු දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පා බව සනාථ කර ඇති බවයි.

සමාප්ති උළෙලේදී පළාත් ක්‍රීඩා නිලධාරීන් ආචාර පෙළපාලියට සහභාගී නොවී  සිටි අතර ඊට හේතුවී ඇත්තේ  මෙරට සිටින කෙටිදුර ධාවන ක්‍රීඩිකාවක් වන දකුණු ආසියානු සහ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභි රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාවට මීටර 100 අවසන් තරගය සඳහා අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබීමට  බවයි ක්‍රීඩා අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාව මෙරට අනාගත ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් වන අතර 2020 වසරේ ජපානයේ ටෝකියෝ අගනගරයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් මේවන විට ඇය ජපානයේ වසිඩා විශ්වවිද්‍යාලයේ පුහුණුවීම් සිදුකරනු ලබනවා.

මෙවර ජාතික මහා ක්‍රීඩා  උළෙල සඳහා සහභාගීවීමට සැප්තැම්බර් 22ට පෙර ඇය ලංකාවට ගෙන්වාගැනීමට නියමිතව තිබුණ ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අතපසුවීමක් මත එය සිදුවී නොතිබුණු බවයි වාර්තා වන්නේ.

මේනිසා ජාතික මහා ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඇයට ශ්‍රී ලංකාවට  පැමිණිමට හැකිවූයේ සැප්තැම්බර් 23 වන දිනයි. මෙසේ පැමිණීමෙන් පසු රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාව සහ සබරගමුව පළාත් ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ  විසින් ඇයට තරග කිරීමට අවස්ථාවක් දෙන මෙන් ඉල්ලීමක්  ඉදිරිපත් කර කර තිබුණා. 

ඒ අනුව එය විශේෂ කමිටුවක් වෙත ඉදිරිපත් කර ඇති අතර එම කමිටුව සැකසී ඇත්තේ  ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරී පාලිත ජයතිලක, ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ උප සභාපති සහ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරී ලාල් චන්ද්‍ර කුමාර සහ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ තාක්ෂණික අධ්‍යක්ෂක ඒ. අයි. නුගගොඩ යන පිරිසගෙනුයි. 

එම කමිටුවේ අනුමැතිය පරිදි රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාවට ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර 100 අවසන් තරගය සඳහා ධාවන මං තීරු 9 යටතේ ඉදිරිපත්වීමට අවසරය හිමි වූ අතර එම තරග ඉසවුවේ රන් පදක්කම  දිනාගැනීමට ඇයට හැකිවුණා.

මෙම තිරණය පිළිබද දැඩි විරෝධයක සිටි  ඌව සහ මධ්‍යම පළාත් ක්‍රීඩා නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් විසින් සමාප්ති උළෙල අවස්ථාවේදී මෙම වර්ජනය සංවිධානය කරනු ලැබුවා.

එමෙන්ම මෙවර  අවසන් ආචාර පෙළාපාලියට සහ ත්‍යාග  ප්‍රධානයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගීවී නොතිබූ අතර එයට මුල්වී ඇත්තේ ඔවුන් හා එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර ඇති මතභේදයක් බවයි nethnews.lk වෙත වාර්තා වුණේ.

මෙම ගැටළු නිරාකරණය කිරීමට ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර විසින් ක්‍රීඩා උළෙලට පෙර දිනයේ ද සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එදින සන්ධ්‍යාවේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සමාප්ති උළෙල වර්ජනය කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිස කටයුතු කර තිබෙනවා.

ගැටළු නිරාකරණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් තිබියදීත් මේවැනි හැසිරීම්  මුළුමනින්ම කඩාකප්පල්කාරී ක්‍රියාවන් ලෙස සැලකිය හැකි බව පවසමින් මේ පිළිබඳව නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණයක් පවත්වන ලෙසට  ක්‍රීඩා අමාත්‍යවරයා  විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දීමක් කරනු ලැබුවා.