Thursday, May 9, 2024

General line - 0115112241

ලෝක ළමා දිනය අදයි - ළමයි වෙනුවෙන් වැඩසටහන් රැසක් නොමිලේ




ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබෙනවා.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු’ යන්නයි.

සංකීර්ණ සමාජ රටාව තුළ දරුවෝ අපේක්ෂා කරන සෙනෙහස ආරක්ෂාව වැඩිහිටි පරපුර තුළින් ගිලිහී යාම නිසා දරුවන් හා වැඩිහිටියන් අතර විශාල පරස්පරයක් ගොඩනැඟෙමින් පවතින බවත් එය සමාජ පැවැත්ම සඳහා විශාල බාධකයක් බවත් ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර සඳහන් කරනවා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කරන්නේ 2017 ලෝක ළමා දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, "වර්තමාන සංකීර්ණ සමාජ ධාරාව තුළ දරුවන් රැක බලා ගැනීමේදී මා පියන් ඇතුළු වැඩිහිටි සෙනෙහස ලබා දීම අතිශයින් වැදගත් වේ. නමුත් මෙම සංකීර්ණ සමාජ රටාව තුළ දරුවෝ අපේක්ෂා කරන සෙනෙහස ආරක්ෂාව වැඩිහිටි පරපුර තුළින් ගිලිහී යාම නිසා දරුවන් හා වැඩිහිටියන් අතර විශාල පරස්පරයක් ගොඩනැඟෙමින් පවතී. එය සමාජ පැවැත්ම සඳහා විශාල බාධකයක් බව මගේ හැඟීමයි.

දරුවන් හා වැඩිහිටියන් අතර ගොඩනැඟෙන එම දුරස්ථතාවය අවම කරගැනීමට නම් වැඩිහිටියන් විසින් විශාල කැපකිරීමක් කළ යුතුය. තම දෛනික කටයුතුවලදී සැළකිය යුතු කාලයක් දරුවන් වෙනුවෙන් කැප කිරීමේ අවශ්‍යතාවය පවතී. වර්තමානයේ බොහෝ දරුවෝ තම ඉලක්ක කරා ගමන් කිරිමේදී මවුපියන් සහ වැඩිහිටියන්ගෙන් ලැබිය යුතු එම අවධානය නිසි පරිදි නොලැබීම නිසා ඉලක්ක වෙතින් දුරස් වෙමින් පවතී. අපේ දරුවෝ අනාගතය ජය ගැනීමට නම් ඉලක්ක වෙත ළඟා විය යුතුය. එහි වැඩි බරක් දැරිය යුත්තෝ වැඩිහිටියෝ වෙති.

කෙසේ වුව ද මෙම පරතරය අවම කරගනිමින් සාර්ථක සහ අපේක්ෂාවන්ගෙන් පිරුණු දරු පරපුරක් බිහි කිරීමට සියලු වැඩිහිටියන් සේ කැප වීම අත්‍යවශ්‍ය බව මම ප්‍රකාශ කරමි. එමෙන්ම 2017 ලෝක ළමා දිනයට මගේ සුබ පැතුම් පිරිනමමි." යනුවෙනි.

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ඔක්තෝම්බර් 01 වැනිදා දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල ජාතික සත්වෝද්‍යානය සහ පින්නවල අලිඅනාථාගාරය නැරඹීමට පැමිණෙන අවුරුදු 12ට අඩු දරුවන්, වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සහ පාසැල් නිල ඇඳුමින් පැමිණෙන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන ප්‍රකාශ කරනවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යනයේ පැවැත්වීමට නියමිත විශේෂ ළමා වැඩසටහන ඔක්තෝම්බර් 01 වැනිදා දහවල් 1.30ට ආරම්භ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

මීට අමතරව ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ද අවුරුදු 18ට අඩු සියළුම දෙනාට එදිනට නොමිලේ ඇතුල්වීමට අවස්ථාව සලසා තිබෙන බවද සඳහන්.

ඒ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යනය, හක්ගල ජාතික උද්භිද උද්‍යානය, හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය යන උද්භිද උද්‍යානවලට අවුරුදු 18ට අඩු අයට නොමිලේ ඇතුළුවීමට අවස්තාව හිමිව තිබෙනවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් අද පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ පෙ.ව 9.00 සිට විවිධ ළමා වැඩසටහන් සංවිධානය කර තිබෙන බවද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන වැඩිදුරටත් කියා සිටියා.