Saturday, January 11, 2025

General line - 0115112241

ගැටළු තිබේනම් සොයා බලන්නම් (UPDATE)

ඩිල්ෂාන් මඩවල




වංචා, දූෂණ සහ වෙනත් අකටයුතුකම් පිළිබ චෝදනා ලැබූවන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායක ධුර පිරිනමා ඇතැයි ඇතැම් පිරිස් කරන විවේචනයන්ට එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පිළිතුරු ලබාදුන්නා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි විවේචන පැමිණිල්ලක ස්වභාවයෙන් ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලිය හැකි බවයි.

කමිටුවක් මගින් ලබා ගත් නිර්දේශ අනුව අදාළ ආසන සංවිධායකවරුන් පත්කර ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනමඩුව නව සංවිධායකවරයා ලෙස ආනන්ද සරත් කුමාර පත් කර තිබෙනවා.

ගුරුවරියක දණගැස්වූ බවට ඉකුත් සමයේ චෝදනාවට ලක්වූයේ ඔහුයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නව සංවිධායකවරයකු ලෙස පත්කර තිබෙන ඉන්දික කෝරළගේ ද නීතිවිරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූවෙක්. නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් ද මීට පෙර ඒ බව අනාවරණ කෙරුණා.

ඒ අනුව මෙම සංවිධායක ධුර පිළිබව නෙත් නිවුස්  අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් විශේෂයෙන් ප්‍රශ්න කළා.

අමාත්‍යවරයා කියා සිටියේ ආනන්ද සරත් කුමාර සමබන්ධයෙන් නීතිමය ගැටළුවක් නොවන බවත් ඉන්දික කෝරළගේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ පිළිබඳ සොයා බලා ඉදිරියේ දී ක්‍රියා කරන බවයි.

මේ අතර නෙත් නිවුස් මීට පෙර කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනමඩුව නව සංවිධායක ආනන්ද සරත් කුමාර පැවසුවේ අතීතයේ තමන් වරදක් සිදුකර ඇතත් එය වර්තමානයේ හෝ අනාගත කටයුතුවලට අවහිරයක් නොවන බවයි. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නව සංවිධායක ඉන්දික කෝරළගේගෙන් ද විමසීමට නෙත් නිවුස් උත්සහ කළා.

අවස්ථා කිහිපයකදී ඔහු දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට නෙත් නිවුස් උත්සහ කළා. එහෙත් එම උත්සහයන් සාර්ථක වූයේ නැහැ.

-----------------------------

වරදකට දඬුවම් දෙවරක් ලැබෙන්නේ නෑ (14-10-2017 06:26)

 

පෙර කළ වැරදි ඇතත් වර්තමානයේදී හෝ අනාගතයේදී කරන කටයුතුවලට එයින් බාධාවක් ඇති නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනමඩුව නව සංවිධායක ආනන්ද සරත් කුමාර පවසනවා.

ඉකුත් සමයේ පාසලකට ඇතුළු වී ගුරුවරියක දණගැස්වූ බවට චෝදනාවට ලක්වූයේ ද ඔහුයි.

නව සංවිධායක ධුරය ලැබීමෙන් පසු ඒ පිළිබ නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.

ඔහු කියා සිටියේ තමන්ට යහපතක් සිදුවන අවස්ථාවලදී පැරණි සිදුවීම් නැවත් කරලියට ලෙන ඒමට ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.

වරදක් සිදුවුණු බවත් ඊට දඬුවම් හිමිවූ බවත් එම දඬුවම තමන් විසින් බුක්ති විඳ ඇති බවත් කියා සිටි ඔහු කියා සිටියේ එම සිද්ධිය නැවත කරලියට ගෙන ඒමෙන් පලක් නොමැති බවයි.

වරදකට දෙවරක් දඬුවම් නොලැබෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනමඩුව නව සංවිධායක ආනන්ද සරත් කුමාර අවධාරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සංවිධායකවරුන් 78 දෙනකු පත් කර තිබෙනවා. හිටපු සංවිධායකවරුන් ගණනාවකට මෙම නව පත්කිරීම්වලදී සංවිධායක ධුර හිමිව නැහැ.