Saturday, January 11, 2025

General line - 0115112241

රහස් අංකය ආරක්ෂා කර ගන්න

තරංග රුක්ෂාන් ජයසේකර




වයිබර්, වට්ස්ඇප් සහ ඉමෝ යන ජංගම දුරකතන ඇප් හරහා සිදුවන වංචාවක් පිළිබ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

නෙත් නිවුස් ඇමතූ අසන්නෙකු ප්‍රකාශ කළේ තම ජංගම දුරකතන අංකය මෙම ඇප් හරහා ලබා ගත් කිසියම් පිරිසක් එය අවභාවිත කර ඇති බවයි.

තමා අන්තර්ජාලය සමග සම්බන්ධ වී නොමැති අවස්ථාවල ඔවුන් තම ජංගම දුරකතන අංකය භාවිත කර අන්තර්ජාලයට පිවිස විවිධ අක්‍රමිකතා සිදු කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විමසීමක් කළා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පැවසුවේ මෙවැනි වංචාවන් පිළිබඳ ඉකුත් මාසය පුරා දිගින් දිගටම තොරතුරු වාර්තා වූ බවයි.

අවභාවිත කරන පුද්ගලයන් විසින් වෙනත් පාර්ශවයේ පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් යොදා ගැනිමේ දී එහි රහස් අංකය අදාළ පුද්ගලයාගේ අංකයට ලැබෙන අතර එම අංක දුරකථන අංකය හිමි අය විසින් අවභාවිත කරන පුද්ගලයන්  වෙත ලබාදීමෙන් මෙවැනි ගැටළු මතුවිය හැකි බවයි.

මෙම වංචාවෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කවරේදැයි නෙත් නිවුස් ඔහුගේ විමසා සිටියා.

එවැනි අවස්ථාවක තමන් වෙත කෙටි පණිවුඩයක් මගින් ලැබෙන රහස් අංකය වෙනත් පුද්ගලයෙකු වෙත ලබාදීමෙන් වැළකී සිටිම මගින් ‍ මෙම වංචාවෙන් මිදිය හැකි බවයි ඔහු කියා සිටියේ.

වයිබර්, වට්ස්ඇප් සහ ඉමෝ යන ජංගම දුරකතන ඇප් හරහා සිදුවන වංචාවන් පිළිබ තොරතුරු වෙතොත් දැනුම් දෙන ලෙසයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලා සිටියේ.