Saturday, January 11, 2025

General line - 0115112241

භාෂාව මිනිසුන් එක් කරන පාලමක් කරගන්න ජනපති යාපනයේදී කියයි (UPDATE/VIDEO)

වන්නි - රොමේෂ් මධුෂංඛ




භාෂාව මිනිසුන් වෙන් කිරීමට නොව, මිනිසුන් එක් කරන පාලමක් කරගත යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. භාෂාව හේතුවෙන් මිනිසුන් වෙන් කළ යුතු බව ඇතැමුන්ගේ අදහස වුවද මනුෂ්‍යත්වය අගයන සැබෑ මිනිසුන් ලෙස රටේ සෑම භාෂාවකටම ගරු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. එමෙන්ම එම භාෂා හැදෑරීය යුතු බවද ජනාධිපතිවරයා පැවසුවා. යාපනය හින්දු විද්‍යාලයේ අද පැවති ජාතික දෙමළ භාෂා දින උත්සවය අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා. 

මේ අතර දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සුළු පිරිසක් අද දිනයේ යාපනයේ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, ජනාධිපතිවරයා යාපනය හින්දු විද්‍යාලය වෙත පැමිණෙමින් සිටියදීයි. විරෝධතාව පැවති ස්ථානයේ දී තමන් පැමිණි මෝටර් රථයෙන් බැස විරෝධතාකරුවන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන් සමග සාකච්ඡාවක ද නිරත වුණා. විරෝධතාකරුවන් අතරට ගිය ජනාධිපතිවරයා කියා සිටියේ උතුරේ හෝ දකුණේ  ඕනෑම අයෙකුට ගැටළු තිබේනම් එකම මේසයක වාඩි වී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි. අනතුරුව යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළා. 

----------------------------------------------

ජනපති යාපනය ගමනේ දී විරෝධතාකරුවන් අතරට යයි

14-10-2017 12:45

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය මෝටර් රථයෙන් පිටතට ගොස් තම සංචාරයට විරෝධය දැක්වූ යාපනයේ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) දින යාපනය සංචාරයේ නිරතවන අතරතුර විරෝධතාවන් නොපැවත්විය යුතු ස්ථාන කිහිපයක් හා දේශපාලඥයින් කිහිප දෙනෙකුට විරෝධතා තහනම් කරමින් යාපනය පොලීසිය විසින්  අධිකරණ තහනම් නියෝගයක් ලබාගෙන තිබෙනවා.

-----------------------

ජනාධිපතිගේ යාපනය සංචාරය අතරතුර විරෝධතා තහනම්(14-10-2017 09:45)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) දින යාපනය සංචාරයේ නිරතවන අතරතුර විරෝධතාවන් නොපැවත්විය යුතු ස්ථාන කිහිපයක් හා දේශපාලඥයින් කිහිප දෙනෙකුට විරෝධතා තහනම් කරමින් යාපනය පොලීසිය විසින් අද (14) අධිකරණ තහනම් නියෝගයක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව යාපනය අධිකරණය අසල ,යාපනය හින්දු විද්‍යාලය අසල හා යාපනය ආණ්ඩුකාර කාර්යාලය අසල කිසිඳු විරෝධතාවක් සිදු කිරීමට නොහැකි අයුරින් යාපනය පොලීසිය විසින්  මෙම අධිකරණ නියෝගය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව අදාල විරෝධතාවන් වෙනුවෙන් දේශපාලඥයින් වන එම්.කේ. සිවාජිලිංගම්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සුරෙස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසකට සහභාගී වීමට නොහැකි වන අයුරින් අධිකරණ තහනම් නියෝගය  ලබාගෙන ඇති බව ද සඳහන්

මේ අතර ජනාධිපතිගේ යාපනය සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් යාපනයේ ස්ථාන කිහියක කලු කොඩි විරෝධවන් පැවත්වීමට තිබූණා.

එම විරෝධතාවය වෙන්වෙන් ද යාපනය පොලීසිය විසින් මෙම අධිකරණ තහනම් නියෝගය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.