Sunday, May 5, 2024

General line - 0115112241

20/20ට "ලාහෝර්" යන්න බැරිද? අවසන් තීරණය සඳුදා

කසුන් කැළුම්/ සමන්ත කුමාර




පකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය සඳහා සහභාගි විය නොහැකි බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් කර ඇති ඉල්ලීම පිළිබඳ ලබන සඳුදා අවසන් තීරණයක් ගන්නා බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එහි සභාපති තිලංග සුමතිපාල නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ වගකිව යුතු පාර්ශව සමග සාකච්ඡා කර ක‍්‍රීඩකයින්ගේ ඉල්ලීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.

දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ලබන 29 වනදා ලාහෝර්හි ගඩාෆි ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි පකිස්තාන ක‍්‍රිකට් බලධාරීන් සැලසුම් කර තිබුණේ. එහෙත් ආරක්ෂක තත්වයන් සැලකිල්ලට ගෙන ඊට සහභාගී විය නොහැකි බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතව සිටින ක‍්‍රීඩකයින්ගෙන් තිසර පෙරේරා හැර අනෙකුත් සියලූම ක‍්‍රීඩකයින් ඉල්ලීමක් කර තිබුණා. 

කෙසේ වෙතත් පාකිස්තාන බලධාරීන් මීට පෙර ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පිල පකිස්තානයට පැමිණියහොත් එරට ජනාධිපතිවරයාට ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන බවයි. 2009 වසරේ එල්ල වූ ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමක් පකිස්තාන ක‍්‍රිකට් සංචාරයන් සඳහා එක්වූයේ නැහැ. 
 

--------------------------------------------------------------

ශ්‍රී ලංකා කණ්ඩායම "ලාහෝර්" යන්න බැරි බව ක්‍රිකට් ආයතයට කියලා

14-10-2017 15:28

පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගයට සහභාගීවිය නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තා වනවා. 

තිසර පෙරේරා හැර අනෙකුත් සාමාජිකයින් 37 දෙනාම මෙලෙස තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.