Sunday, January 26, 2025

General line - 0115112241

මධ්‍යම කඳුකරයට කඩින් කඩ අධික වැසි - වාන් දොරටු විවෘත කිරීම් ගැන විමසිල්ලෙන් පසුවන්න (UPDATE)




ගංවතුර තත්ත්වයක් පැවැති ජලාශවල ජල මට්ටම මේ වනවිට ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කෙසේවෙතත් එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියාසිටියේ පහත්බිමිවල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි. 

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම ජල පෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි ඇදහැලෙමින් පවතින බවයි.

මේ අතර අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කෙරුණා.

ලක්ෂපාන ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු මේ වනවිට වසා දමා ඇති අතර තවදුරටත් වැසි ඇදහැලූණහොත් එම ජලාශයේ වාන් දොරටු යළි විවෘත කිරීමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.
 

 

----------------------------------------

නිල්වලා සහ කළු ගංගා ආශ‍්‍රිතව ස්ථාන දෙකකින් ගංවතුර තත්ත්වයක්

(15-10-2017 07:08)

පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා සහ කළු යන ගංගා ආශ‍්‍රිතව ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

නිල්වලා ගඟෙහි පානදුගම ප‍්‍රදේශයේ මහා ගංවතුර තත්ත්වයක් ද කළු ගඟෙහි ධාරා ප‍්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව අද (15) අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඉකුත් පැය 12 තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බැවින් කැලණි සහ ගිං යන ගංගා ආශ‍්‍රිතව ගංවතුර තත්ත්වයක් වාර්තා වී නොමැති බව ද එම නිවේදනයේ සඳහන්.

මේ අතර අකුරැස්සේ මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යටවී ඇති අතර, එම මාර්ග භාවිත කිරීමෙන් වළකින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

කෙසේවෙතත් ගංගා ආශ‍්‍රිත පහත්බිම්වල සහ නායයාම් අවදානම් කලාපවල පදිංචි ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

කුකුළේ ගඟ සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.