පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ මට්ටමක පවතිනවා. කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟ එම ගංගා අතරින් ප්‍රධානයි.
මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ 117 දුරකථන අංකය පැය 24 පුරා විවෘතව පවතින බවයි.
යම් හදිසි අවස්ථාවක දී එම දුරකථන අංකය මගින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අමතන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
ජල ගැලීම් සම්බන්ධයෙන් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව තවදුරටත් වඩා විමසිල්ලෙන් පසුවිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර, ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් - සමනළගම ප්‍රදේශයේ පවුල් 12ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.
නායයාම් අවදානම් කලාපයක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. අවදානම් කලාපයට පහළින් වූ අතුරු මාර්ගයක කොටසක් අද (15) දහවල් නාය ගියා. ඒ අනුවයි මෙම පිරිස ඉවත් කිරීමට පියවර ගැණුනේ.
හැටන් - ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක කොටසක්
කඩා වැටීම හේතුවෙන් නිවසේ බිත්ති පුපුරා ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
බදුරලිය, මතුගම, කලවාන මාර්ගයේ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බවද සඳහන්.
මේ අතර, පවතින වැසි සහිත තත්ත්වය තවදුරටත් අපේකෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා. මේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන ශමිල් ප්‍රේමතිලක කියා සිටියේ දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බවයි.
මේ අතර, දිස්ත්‍රික්ක 06කට පවතින නාය යාමේ අවදානම තවදුරටත් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, නුවරඑළිය සහ කෑගල්ල එම දිස්ත්‍රික්කයි.