Sunday, April 28, 2024

General line - 0115112241

යාලට පිවිසෙන සෆාරි රථ සීමාවේ.. රියදුරුන් විරෝධතාවයක

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසිය හැකි වාහන ප්‍රමාණය සීමාකිරීමට විරෝධය පළකරමින් යාල සෆාරි ජීප් රථ හිමියන් හා ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නියෙලෙන පිරිස් එකතුවී අද (23) විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රුහුණු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1වන සතුන්ගේ ස්වභාවික චර්යයා රටාවන් හා වාසස්ථාන යථා තත්වයට පත්වීම සඳහා සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් 2017.09.01 දින සිට 2017.10.31 දින දක්වා සංචාරකයින් සඳහා වසා තබන බවට නිවේදනය කර තිබුණා.

නමුත් එදිනට පෙර 23 දා සිට යාල සංචාරිකයින් සදහා විවෘත කිරීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

 

නමුත් සෆාරි ජීප් රථ හිමියන් 23 දින (අද ) ආරම්භ කළ විරෝධතාවය නිසා යාල තුලට සෆාරි ජීප් රථ මගින් ඇතුල් වීමට සංචාරකයින්ට නොහැකි වූ අතර තම පුද්ගලික වාහන මගින් පැමිණි සංචාරකයින් පමණක් යාලට ඇතුළු වූ බවයි යාල උද්‍යාන භාරකරු සියාසිංහ ප්‍රකාශ කළේ.

යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසෙන වාහන ප්‍රමාණය වැඩි වීම නිසා එහි පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කරගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම පියවර ගෙන තිබෙනවා.

මේ අනුව යල කලාප අංක එක සඳහා දිනකට එක්වාරයකට වාහන 100 දක්වා සිමා කර ඇති අතර ඒ අනුව උදේ , දවල් ,සවස යන වාර තුනටම යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු කල හැක්කේ වාහන තුන්සියයකට පමණයි.

ඊට අමතරව පාසල් සිසුන් හා දුරබැහැර සිට බස් රථ මගින් පිවිසෙන දෙශීය සංචාරකයින් සදහා ද මෙම සීමාවෙන් ඉක්මවා ඇතුළු වීමට අවස්ථාවට දෙන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂක රන්ජන් මාරසිංහ කියා සිටියේය.

කෙසේනමුත් මේ සම්බධයෙන් කල විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර කියා සිටියේ යාලට පිවිසෙන වාහන සිමකිරිම හා වනජීවී සංරක්ෂණය සඳහා අමත්‍යවරයා මෙන්ම අදාල නිලධාරීන් සාකච්චා කර මෙම තීරණය ගෙන ඇති බවයි.