Thursday, September 19, 2024

General line - 0115112241

IS සුන්නද්දූලි කරන අවසන් සටන ඇරඹෙයි!



IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සටන් වදින ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය එම ත්‍රස්ත සංවිධානය සහමුලින්ම මුලිනුපුටා දැමීමේ අවසන් සටනට පිවිස සිටින බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් පවසයි.

ඈෂ් කාටර් මෙසේ පවසා සිටියේ මේරිලෑන්ඩ් හි ඇන්ඩෘස් කඳවුරේ සිටය.

“මේ වනවිට සටනේ ප්‍රවර්තක ශක්තිය අප ලබාගෙන අවසානයි. ඒ වගේම, භූමියෙන් පැහැදිලි ප්‍රතිඵලයක් ලබාගැනීමට අප සූදානම්” යැයි කාටර් පවසයි.

මෙහිදී, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයේ ඉරාකය හා සිරියාව කේන්ද්‍ර කරගත් මූල පිළිකාව වනසා දැමීම මෙම අවසන් සටනේ අරමුණ බවද කාටර් පෙන්වා දෙයි.

“අප සියල්ලන්ම එකතුව වැඩි දෙයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි කාටර් පවසයි.

එමෙන්ම, මොසුල් නගරය යළි අත්පත් කරගැනීමට සහාය ලබාදීම සඳහා ඇමෙරිකානු හමුදාවේ තවත් සෙබලු 560 දෙනෙකු ඉරාකය වෙත යවන බවද ආරක්ෂක ලේකම්වරයා කියයි. එමෙන්ම, පසුගිය සතියේ ඉරාකයේ සංචාරයක නිතර වූ ආරක්ෂක ලේකම්වරයා, ත්‍රස්තයන් විසින් වළදමා ඇති බෝම්බ නිශ්ක්‍රීයකිරීමේ සහාය සඳහා ඇමෙරිකානු විශේෂඥ සහාය එරට හමුදාවට ලබාදීමටද එකඟ වී තිබේ.

මෙම දරුණු ප්‍රහාර මාලාවෙන් පසුව එම රටවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීම පිළිබඳවද ඒකාබද්ධ සන්ධානය මේ වනවිට දැඩි අවධානයක් යොමුකර ඇති බවද ඇෂ් කාටර් පවසයි.

“මේ සටන සඳහා විරාමයක් හෝ විවේකයක් නෑ. එහිදී, භූමියේ සිටින අප සගයන්ට සටනට අවශ්‍ය දෑ නොඅඩුව සපයමින්, ජයග්‍රහණය කරා ගමන් කළ යුතුයි. ඒ වගේම, ආරක්ෂාව තහවුරු කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට අප සහතික විය යුතුයි” යනුවෙන් ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.