Monday, January 13, 2025

General line - 0115112241

"අලුත් ප්‍රශ්න හදන්න එපා"

සමන්ත කුමාර




සිංහල, දෙමළ හෝ මුස්ලිම් ලෙස ජන වර්ග පදනම් කර ගනිමින් කිසිඳු පළාත් පාලන ආයතනයක් හෝ වෙනත් පරිපාලන ආයතනයක් පිහිටුවීමේ ක‍්‍රමයක් ශී‍්‍ර ලංකාව තුළ නොමැති බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.  

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ නව ප‍්‍රාදේශිය බලප‍්‍රදේශ වෙන් කිරීම සම්බන්ධයෙන් කන්ද උඩරට ප‍්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය ඊයේ (28) එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

නව ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශ වෙන් කිරීමේදී ශ්‍රී පාදස්ථානය අඹගමුව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයෙන් වෙන් කිරීමට විරෝධය පළ කරන බවයි එම සංවිධානයේ සභාපති අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර හෙලපි‍්‍රය නන්දරාජ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ අඹගමුව ප‍්‍රාදේශීය සභාව බෙදා වෙන් කළේ ජනතාවට වඩාත් සමීප ප‍්‍රාදේශීය පරිපාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් බවයි. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "අඹගමුව ප්‍රාදේශීය සභාව දැන් තුනට බෙදලා ගන්න වුණ කාරණාව තමයි..එතන භූමි ප්‍රදේශය එක් කොනක සිට අනෙක් කොන දක්වා කිලෝමීටර් 70ක් තියෙනවා. අනික ජනගහනය ලක්ෂ 02කට වැඩියි. ඒ නිසා තමයි මේ ප්‍රාදේශීය සභාව කඩන්න හේතු වුණේ. ජනතාවට සමීප සේවයක් සැපයීමේදී මේක බාධාවක් වෙලයි තිබුණේ." යනුවෙනි.

මෙවැනි සිදුවීම් හරහා නව ප‍්‍රශ්න ඇති කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.