Monday, January 13, 2025

General line - 0115112241

ගැබ් ගත්තැයි අසත්‍ය චෝදනා නඟමින් පාසලින් ඉවත් කළ දැරියට අලුත් පාසලක් ලැබෙයි (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ




කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඝෘජුව මැදිහත් වීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පියවර ගෙන තිබෙනවා.

අදාළ දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා මෙතෙක් පළාත් පාසලක් ලැබී නොමැති නම්, දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා සුදුසු ජාතික පාසලක් ඇයගේ සහ මව්පියන්ගේ කැමැත්ත මත ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දැරිය මුහුණදෙන ගැටළු අවම කරගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය දා වාර්තා වූ මෙම සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ රාජකාරී වැඩ තහනම් කිරීමටද මේ වනවිට පියවර ගෙන තිබෙනවා.


 

---------------------------------

කුසගින්නට වමනය ගිය දියණිය යළිත් පාසල් ගියොත් ගුරුවරු ඉවත් වෙනවා ලු 

29-10-2017 10:28

(කාංචන කුමාර ආරියදාස )

පසුගියදා මුළු රටේම කතාබහට ලක්වූ කැකිරාව මඩාටුගම රේවත මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවිය තවමත් නිවසට වී පසුවන බව nethnews.lk වෙත වාර්තා වුණා.

කුසගින්නේ සිටීම හේතුවෙන් වමනය ගොස් පසුව විදුහලේ විනය කමිටුව මගින් ඇය ගැබිනියක යැයි පවසා පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

අදාළ සිද්ධියට මුහුණ දුන් තමන්ට තවමත් පාසලක් හිමිවී නැති බවයි එම දියණිය පවසන්නේ. දියණියගේ මව පෙන්වා දෙන්නේ සිය දැරිය පාසලට ඇතුළත් කර ගැනීමට කටයුතු කර තිබුණ හොත් පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු පාසලෙන් ඉවත් වන බවට දැනුම් දී ඇති නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

මේ අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් දැරියගේ මවට සහ පියාට ලබන සදුදා දිනයේ කොළඹ මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්දීමක් කර තිබෙනවා.

එම දැරියගේ මව වන ඩී.එම්. සෝමාවතී (57) කිසිඳු දිනක කොළඹ පැමිණ නොමැති බවයි පවසන්නේ. දියණියගේ පියා වන එච්. එන්. කිරිබණ්ඩා (66) කියා සිටියේ තමන් එක්දහස් නවසිය හතළිස් ගණන්වල පුංචි කාලේ කොළඹ ගොස් ඇති බවයි.

බොහෝ දිනවලදී එක් වේලකින් කුස ගිනි නිවා ගන්නා සිය පවුලට කොළඹ යෑම සඳහා මග වියදම් සොයා ගැනීම දැඩි දුෂ්කර බවයි කිරිබණ්ඩා පෙන්වා දෙන්නේ.

ඊයේ (28)  දින අප වාර්තාකරු මෙම නිවසට යන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පිරිසක් විසින් ඔවුන් වෙත වියළි ආහාර බඩු මල්ලක් රැගෙනවිත් තිබුණා.