Monday, January 13, 2025

General line - 0115112241

දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට




කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ මරණීය දණ්ඩනය නියමව සිටින දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙනවා. 

ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත මීට පෙර වසරකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලැබුවා. 

දුමින්ද සිල්වාට තවදුරටත් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පසුගියදා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසා සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ වෛද්‍යවරුන් 18කින් යුත් වෛද්‍ය කණ්ඩායමක් පත් කරණු ලැබුවා. 

එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශ අනුව දුමින්ද සිල්වාට වැලිකඩ බන්ධනාගාර රෝහල තුල හෝ වෙනත් රෝහලක නේවාසිකව ප්‍රථිකාර ලබා දීම අවශ්‍ය නොවන බවත්, හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් පමණක් නොපමාව ප්‍රතිකාර ලබා දෙන ලෙසත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.

ඒ අනුව, ඔහු පසුගිය 10 වනදා බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේ.

කෙසේවෙතත් එම වාට්ටුවේ රදවා සිටින අවස්ථාවේ දී හදිසියේ ඇති වු සංකූලතාවයක් අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 11 වනදා අලුයම 02ට පමණ ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේ දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. 

දුමින්ද සිල්වා යළි සාමාන්‍ය වාට්ටුවකට යොමු කිරීමට හැකියාවක් ඇත්දැයි වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසීමක් කර තිබෙනවා. 

එහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා දැනුම් දී ඇත්තේ දුමින්ද සිල්වාට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවයි.

කෙසේවෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ සිදු කරන ප්‍රතිකාර සම්බන්ධයෙන් ලබන 15 වනදා දැනුම් දෙන බවයි එම ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසා ඇත්තේ. 

ඒ අනුව  දුමින්ද සිල්වා එතෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.