රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපති සතු බවත්, සියලූ ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් දියහැකි නායකයා ජනාධිපතිවරයා පමණක් බවත් ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙම අදහස් පළ කළේ පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත්රණ ශාලාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ පුණ්‍යෝත්සවය අමතමින්.
මෙම අවස්ථාව අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ගැටුම් නිරාකරණය පිළිබඳ ගැඹුරින්ම දේශනා කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ බවත්, ගැටුම් නිරාකරණයට විවිධ ක්‍රමවේද තිබිය හැකි වුව ද බෞද්ධ ප්‍රතිපත්තිය වනුයේ, කිසිම ජීවිතයක් විනාශ නොකිරීම මෙන්ම කිසිම ජීවිතයක් විනාශවන්නට ඉඩ නොතබමින් ගැටුම් නිරාකරණය කර ගැනීම බවයි.
ගැටුම් නිරාකරණය විද්‍යාවක් මෙන්ම ශාස්ත්‍රීය විෂයයක් ද වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය නූතන උසස් අධ්‍යාපනයේ අංගයක් ද වන බැවින් අප අද මුහුණපා සිටින ගැටුම් නිරාකරණය ද මනා හැදෑරීමකින් යුතුව, විද්‍යාත්මක හා ශාස්ත්‍රීය පදනමකින් යුතුව කළ යුතු බව ද සඳහන් කළා.