සයිටම් වෛද්‍ය පිඨය අහෝසි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරනවා.
රජය ඊයේ (29) ප්‍රකාශයට පත් කළේ අවම ප්‍රමිතින්ට අනුකූලව ස්ථාපිත කෙරෙන වෛද්‍ය උපාධි ප්රදානය කරන රාජ්‍ය නොවන සහ ලාභ නොලබන නීත්‍යනුකූල නව ආයතනයක් ස්ථාපිත කරන බවයි. සයිටම් ආයතනය සතු වත්කම්, වගකිම්, කාර්ය මණ්ඩලය හා සිසුන් නව ආයතනයට පවරන බවද එහිදී ප්‍රකාශ කෙරූණා.
එහෙත් එය ප්‍රායෝගිකව සිදු කළ හැක්කක් නොවන බවයි සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.
එහිදී "නව ආයතනයක් පිහිටුවා සයිටම් ඊට ආදේශ කිරීම තව කල්ගතවෙන ක්‍රියාවලියක්. ඉතින් අපි කියන්නේ පීඨාධිපතිවරුන්ගේ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවයි. මේක ගැන ජනතාවට පැහැදිළි තීන්දුවකුයි ලබා දිය යුත්තේ." යනුවෙන්ද සඳහන් කළා.
සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර ඇති සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබා දෙන බව ද රජයේ තීරණයේ සඳහන්. එය මෙම සිසුන්ට ලබා දුන් යහපත් විසඳුමක් බවයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එකමුතුවේ ලේකම් ගාමිණී ජයසිංහ කියාසිටියේ.
ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ රජය ගන්නා ඔනෑම තීන්දුවකට කැමැති බවත් නමුත් එය දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවිය යුතු බවයි. මෙම ආයතනයට දරුවන් ඇතුළත් කළේ මෙය රජයේ ලියාපදිංචි ආයතනයක් වූ නිසා බවත් සඳහන් කළා.
සයිටම් ගැටලුව පදනම් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඉකුත් සමයේ දැඩි හඬක් නැගූ පාර්ශ්වයක්. රජයේ නව යෝජනාවලිය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඔවුන්ගෙන් ද විමසීමක් කළා.
එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ රජයේ විසඳුම් පිළිබඳ ගැටලූ කිහිපයක් ඇත බවයි.
එහිදී "සයිටම් වෙනුවට ආරම්භ කිරීමට සැළසුම් කරලා තියෙන නව ආයතනය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේදී සාකච්ඡා කරනවා. අපි දැනගත යුතුයි මේ නව ආයතනය බිහිකරන්නේ කුමණ නීති රාමුවක් යටතේද කියන එක.. " යනුවෙන්ද සඳහන් කළා.
කෙසේවෙතත් රජය ඊයේ තීරණය කළේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හා එම පවුල හිමිකාරීත්වය දරමින් කළමනාකරණය කළ ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කිරීමටයි.
එය සාධනීය තත්ත්වයක් වුවද එහි සැබෑ අරමුණු සොයාගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ නව ආයතනය පිහිටු වීමටයි රජය තීරණය කර ඇත්තේ. සුදුසුකම් සහිත සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව එහිදී හිමිවනු ඇති.
මේ අතර සයිටම් ගැටලුව මුල්කර ගනිමින් අද (30) දිනයේ ද උද්ඝෝෂණයක නිරතවීමටයි අන්තර් සමාගම් සේවක සංගමටය තීරණය කර ඇත්තේ.