ගැබ්ගෙන ඇතැයි පවසා කැකිරාව ප්‍රදේශයේ සිසුවියකගේ පාසල් ගමන නතර කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ඇය අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊට අදාළ පියවර ගන්නැයි තමා පළාත් බලධාරීන්ට දැනුම් දුන් බවයි.
වමනය යාම සැළකිල්ලට ගනිමින් පාසලේ විනය කමිටුව විසින් මෙම සිසුවිය ගැබිනියක් යැයි පවසා පාසලෙන් ඉවත් කිරීමට ඉකුත්දා පියවර ගෙන තිබුණා. පසුව අනාවරණය වුණේ ඇයට වමනය ගොස් ඇත්තේ කුසගින්නේ සිටීම හේතුවෙන් බවයි.
මෙවැනි සිදුවීම් ඇතිවීමට බලපා ඇති හේතු පිළිබඳව ද නෙත් නිවුස් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ "ඔය වගේ පාසල්වල ගොඩක් වැඩබලන උප ගුරුවරු තමයි විදුහල්පතිවරු සහ විදුහල්පතිනියන් වශයෙන් කටයුතු කරන්නේ. නව රජයෙන් විභාග තියලා විදුහල්පතිවරු 4000ක් ගත්තා. ඒ පිරිස පළාත්වලට යොමු කරලා තියෙනවා..නමුත් තාමත් සමහර පළාත්වල ඔවුන්ට වැඩ භාර දීලා නැහැ. ඇත්තටම මම ගොඩාක් කණගාටුවෙනවා..මේ විදිමත් ලෙස බඳවා ගත් විදුහල්පතිවරුන්ට තවමත් පාසල් නොදීම පිළිබඳව." යනුවෙනි.
මේ අතර අදාළ සිද්ධියට මුහුණදුන් තම දියණියට තවමත් පාසලක් නොමැති බවයි ඇගේ දෙමාපියන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ.