එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උතුරු නැගෙනහිර හිටපු මුල්‍ය ප‍්‍රධානියා ලෙස කටයුතු කළ එමිල්කාන්තන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවකට අදාළවයි ඔහු මෙලෙස නිදහස් කර ඇත්තේ.
එමිල්කාන්තන්ට අමතරව තවත් 9 දෙනකු මෙහිදී නිදොස් කොට නිදහස් කෙරුණා.
මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ ප‍්‍රකාශ කළේ එමිල්කාන්තන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.
1998 වසරේ ජුනි මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී උල් ආයුධවලින් හා මොට ආයුධවලින් පහරදී එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ ඩග්ලස් දේවානන්දා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
කෙසේවෙතත් මෙම නඩුවේ තවත් විත්තිකරුවන් 6 දෙනෙකුට වසර දහයාමාර බැගින් වූ බරපතළ වැඩ ඇතිව සිර දඩුවම් ද නියම කෙරුණා.