Monday, January 13, 2025

General line - 0115112241

මාරාන්තික ශාකයක් විනාශ කරන්න ජනතා සහාය ඉල්ලයි (PHOTOS)

දිනසේන රතුගමගේ




වේගයෙන් පැතිර යමින් ඇති මරාන්තික වල්පැලෑටියක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. එය වහා විනාශ කිරීම සඳහා මහජන සහාය අවශ්‍ය බවයි බලධාරීන් දන්වා සිටින්නේ.

මේ වන විට වවුනියාව පුරා පැතිර යන මෙම "පාතීනියම් හෙස්ටෝපොරස්" නැමති මාරාන්තික වල් පැලෑටිය විනාශ කොට දැමීම සඳහා වවුනියාව නගර සභාව මහජන සංවිධානවල සහය පතනවා.

ඒ අනුව වවුනියාවේ පරිසර සංවිධාන කීපයක් මේ දිනවල එම වල්පැලෑටිය විනාශ කිරීමේ කටයුතු වල නිරතව සිටිනවා.

වවුනියාව නගර සභාවද මෙම කාර්ය සඳහා දායක වී සිටින නමුත් එහි නිලධාරීන් කියා සිටින්නේ නගර සභාවට පමණක් පාතීනියම් වල් පැලෑටිය විනාශ කිරීම සිදු කළ නොහැකි බවයි.

පාතීනියම් හෙස්ටෝපොරස් නැමති මෙම මාරාන්තික වල් පැලෑටිය උතුරු නැගෙනහිර පළාත් වෙත සංක්‍රමණය වූයේ 1987- 88 වර්ෂවලදී ඉන්දීය සාමසාධක හමුදාව ඔවුන්ගේ එළුවන්ට ආහාර වශයෙන් එම වල් පැලෑටිය රැගෙන ඒමත් සමගයි.

මෙම වල්පැලෑටිය ශරීරයේ ස්පර්ශ වුවහොත් බිබිලි හටගෙන අධික දැවිල්ලක් සහිතව කැසිල්ලක් හටගන්නා අතර පාතීනියම් වල්පැලෑටියේ යුෂ ශරීරගත වුවහොත් මරණය පවා සිදුවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

මේ හේතුව නිසා පාතීනියම් වල්පැලෑටිය බෝවෙමින් පැතිර ගිය මුල් වකවාණුවේදී එම වල්පැලෑටිය වැවෙන්න්ට ඉඩ හරින නිවෙස් හිමියන්ට දඩ මුදලක් හා සිරදඬුවම් ලබාදිය හැකි අන්දමේ නීතිරීති සකස් කොට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නමුත් දැනට වසර දහයක පමණ සිට එම ක්‍රියාවලිය සිදු වන්නේ නැහැ.

පාතීනියම් වල්පැලෑටිය ඇති පළාත් වලින් සෙසු පළාත්වලට පස් සහ වැලි ප්‍රවාහණය කිරීමද තහනම් වන අතර එම නීති රීති කිසිවක් වර්ථමානයේදී ක්‍රියාත්මක වන්නේ නැහැ.

පාතීනියම් ශාකයේ එක් මල් පොකුරක ඉතා සියුම් බීජ 5000 ත් 7000ත් අතර ප්‍රමාණයක් ඇති නිසා නියං සමයට සුළග මගින් එම බීජ ප්‍රදේශය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් වසරකට පාතීනියම් නව ශාක ලක්ෂයක් පමණ මව් ශාකයට නුදුරින් අලුතෙන් හට ගන්නවා.