Wednesday, January 15, 2025

General line - 0115112241

විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් තවත් පරික්ෂණයක්

වසන්ත පිවිතුරු




යාපනය - පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචි විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වූ ස්විස් කුමාර් නැමැත්තාට පලායාමට ඉඩ සැලසූ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යාපනය ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

මහත් ආන්දෝලනයට තුඩුදුන් යාපනය - පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචි විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වූ ස්විස් කුමාර් නමැත්තාට පලායාමට උදව් කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වූණා.

ඔහු දැනට අත්අඩංගුවේ පසුවනවා.

එමෙන්ම, එම අනුබලදීමේ සිද්ධියට තවත් උපපොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධ බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අනුග්‍රහය ඒ සඳහා ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවයි සේනාධිරාජාගෙන් ප්‍රශ්න කර කට උත්තර ලබාගෙන තිබෙනවා.

ස්වීස් කුමාර් හෙවත් මහලිංගම් ශෂි කුමාර් නැමැති පුද්ගලයාට පලා යාම සඳහා සහාය ලබාදුන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට මන්ත්‍රි මාවයි සේනාධිරාජා අනුග්‍රහය දක්වා ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන සිවඥානම් ශ්‍රීදරන්ගෙන් ද අදාළ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරිමට නියමිත බවයි කියා සිටියේ.

ඒ සඳහා මන්ත්‍රිවරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වේලාවක් ලබාගෙන ඇති බව වාර්තා වනවා.

මීට අමතරව යාපනයේ සිට විකාශය වන රූපවාහිනි නාළිකාවක මාධ්‍යවේදියෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03) පස්වරුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ වීඩියෝවක් ඔහු විසින් පටිගත කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි.