Wednesday, January 15, 2025

General line - 0115112241

ලොකු ගේමකට සැරසුණු පාතාල කල්ලියක් කොටු (VIDEO)

බුද්ධික කුමාරසිරි




අතුරුගිරිය ප‍්‍රදේශය භීතියට පත් කරමින් වෙළඳසල් කොල්ලකෑම්, පහරදීම් ආදී අපරාධ රැසකට සම්බන්ධ බව කියන අතුරුගිරියේ මන්නා පිහි කල්ලියේ තරුණයින් පස් දෙනෙකු අපරාධ සඳහා යොදා ගත් තියුණු ආයුධ සහ ගිනි අවි සමගින් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය සමත් වී තිබෙනවා.

අතුරුගිරියේ ලඩියා නමැති පාතාල නායකයා විදේශ රටක සිට මෙහෙයවනු ලබන බව කියන මෙම මන්නා පිහි කල්ලිය ඉකුත් සමයේදී අතුරුගිරිය, ඔරුවල, මාලබේ, අරංගල සහ අතුරුගිරිය කොස්කඳවිල ප‍්‍රදේශවල සුපිරි වෙළඳසැල් කිහිපයක් ද පනාගොඩ ප‍්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක්ද කොල්ලකා තිබුණා.

ඔරුවල ප‍්‍රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල කැපුම් තුවාල සිදු කර තිබූණේද මෙම කල්ලිය බවයි පොලිසිය සැක කරන්නේ.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් අල්වත්තට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත මෙම පිරිස ඔරුවල ප‍්‍රදේශයේ නිවසක ගංජා පැකට් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණා.

මෙම ස්ථානයේදී තරුණයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් රැස්ව ගංජා සහ මත්පෙති පානය කර රාති‍්‍රය පුරා විනෝද වෙමින් සිටින අතර අලුයම් කාලයේදී පිරිස් වශයෙන් අපරාධ සඳහා පිටත් කර යාවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔරුවල ප‍්‍රදේශයේ පදිංචි එක් සැකකරුවෙකුගේ සහෝදරයාව මීට මාස කිහිපයකට පෙර තලවතුගොඩ ප‍්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබූ බැවින් එම ඝාතනය සිදු කල පුද්ගලයින් ඝාතනය කිරීමට ටී 56 ගිනි අවියක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙම කොල්ලකෑම් සිදුකල බවයි මෙහිදී සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී කඩු පහක් රිවොල්වරයක් සහ ඊට යොදා ගන්නා උණ්ඩ කිහිපයක්, ව්‍යාජ පිස්තෝලයක්, සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස් ආවරණ දෙකක්, ජැකට් දෙකක් මෙන්ම නවගමුව සහ ගල්කිස්ස ප‍්‍රදේශවලින් පැහැරගත් අපරාධ කටයුතු සඳහා යොදා ගත් බව කියන යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරුගිරිය, ඔරුවල, හෝමාගම, පිටිපන සහ තලවතුගොඩ ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 ත් 23 ත් වයසේ පසුවන තරුණයින් වනවා.