කොළඹ වරායේදී ප්‍රතික්ෂේප වූ තත්ත්වයෙන් බාල ඉන්ධන රැගත් නෞකාව ත්‍රිකුණාමල වරායට ගොඩබෑමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසනවා.
එහි ත්‍රිකුණාමල වරාය ශාඛාවේ සභාපති සරත් ගාල්ලගේ කියා සිටියේ මෙම තත්ත්වයෙන් බාල ඉන්ධන ශ්‍රී ලංකාවට ගොඩ බෑමේ සූදානම පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන්නේදැයි සැක පල වන බවයි.
තත්ත්වයෙන් බාල ඉන්ධන රැගත් මෙම නෞකාව කොළඹ වරායෙන් ආපසු හරවා යැවීමත් සමග රටේ ඉන්දන හිඟයක් ඇතිවේයැයි බියෙන් ජනතාව ඉකුත් දින කිහිපයේ පෝළිම්වල රැඳී සිටිමින් ඉන්ධන ලබා ගැනීම සිදු කළා.
අද (05) දිනයේ ද ඇතැම් පිරවුම්හල්වල පෙට්‍රල් නොතිබූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද (05) දිනයේ ද දිගු පෝලිම් දක්නට ලැබුණා.
නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ දැනට ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇති බවයි.
ඇතැම් පිරවුම්හල් අසළ ඉන්ධන ලබා ගැනිමේදී පාරිභෝගිකයින් අතර ගැටුම් හටගත් බවට ද තොරතුරු වාර්තා වුණා.
එවැනි තත්ත්වයන් වලක්වා ගැනීම අරමුණු කරගනිමිනුයි මෙලෙස පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ.
ඉන්ධන හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඛණිජ තෙල් අමාත්‍යංශයෙන් විමසා සිටියා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් පෙට්‍රල් හිඟයක් පවතින බවයි.
කෙසේවෙතත් දින 5කට ප්‍රමාණවත් පෙට්‍රල් මේ වනවිට රජය සතුව පවතින බවයි ඛණිජ තෙල් අමාත්‍යංශය පැවසුවේ.
සිය අවශ්‍යතාවට අමතරව පිරවුම්හල්වලින් අමතර බඳුන්වලට ඉන්ධන ලබාගැනීමෙන් වළකින ලෙසද මෙහිදි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කෙරුණා.