Wednesday, January 15, 2025

General line - 0115112241

සයිටම් එපා කියා අද මාරාන්තික උපවාසය අරඹයි




සයිටම් ආයතනය වසා දමන්නැයි බල කරමින් සිදු කරන මාරාන්තික උපවාසය අද (06) ආරම්භ කෙරෙනවා.

එයට එක් වන්නේ රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන්. එහෙත් මේ දක්වා සිය මාරාන්තික උපවාසය සිදු කරන ස්ථානය ඔවුන් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ. එයට එල්ල විය හැකි විවිධ බලපෑම් සළකා ස්ථානය තවදුරටත් රහසක් ලෙස තබා ගන්නා බවයි ඔවුන් කියා සිටියේ. 

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ඉකුත් දා සිය තීරණය ප‍්‍රකාශයට පත් කළා. එහි දැක්වුණේ සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කර රජයේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක නව ආයතනයක් පිහිටුවන බවයි.

එසේ තිබියදී මෙලෙස මාරාන්තික උපවාසයේ නිරත වෙමින් බල කර සිටින්නේ කුමක්දැයි රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපිය සංගමයෙන් විමසීමක් කළා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි කියා සිටියේ සයිටම් යන නම අහෝසි කර වෙනත් නමකින් එම ආයතනය පවත්වාගෙන යෑම මෙහි අරමුණ වී ඇති බවයි. ප්‍රශ්නය තියෙන කාලයේ ප්‍රශ්නය යට ගැසීම සඳහා ගත් පියවරක් ලෙස මෙම විසඳුම දකින බවත් මීට සත්‍ය විසඳුමක් අවශ්‍ය බවත් සඳහන් කළා.

කෙසේවෙතත් නව ආයතනය ලාබ නොලබන ආයතනයක් බවත් එය අහෝසි කිරීම ඇතුළු රජයේ නිර්දේශ දෙසැම්බර් අවසන් වීමට පෙර ක‍්‍රියාවට නංවන බවත් ඉකුත්දා ප‍්‍රකාශ කෙරුණා.