Friday, May 3, 2024

General line - 0115112241

මාරාන්තික උපවාසයේ නිරත දෙමාපියන් උපවාසය අත්හරී (PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර




සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සාමාජිකයින් පස් දෙනෙකු කි‍්‍රයාත්මක කළ මාරාන්තික උපවාසය අත්හිටුවා තිබෙනවා. ඒ, සයිටම් ගැටළුව පිළිබද සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සමග පැවති සාකච්ඡාවලින් පසුවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියාසිටියේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වනදායින් පසු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

------------------------------------------------

මාරාන්තික උපවාසයේ නිරත දෙමාපියන් අවසන් තීරණයට සූදානම්

08-11-2017 12:24

සයිටම් ආයතනයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය තුන්වන දිනටත් මේ වනවිට කි‍්‍රයාත්මක වනවා.

කෙසේවෙතත් තම උපවාසයේ ඉදිරිය පිළිබඳ අවසන් තීරණය තව නොබෝ වේලාවකින් රට හමුවේ තැබීමටයි ඔවුන් සූදානම් වන්නේ.

ඊට හේතුවී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සමග අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවක්.

එහි ප‍්‍රගතිය පිළිබඳ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරිගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "ඒ සාකච්ඡාවේදී එවලා තිබූණු ලියවිල්ලේ ඇති අඩුපාඩු ගැන අපි කතා කළා. එහිදි එතුමාගේ සීමාවේ එකඟවිය හැකි කරුණු ගැන අපිට පැහැදිළි කළා. පස්සේ කිව්වා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි අදාළ ලියවිල්ල සකස් කරලා අද සවස් වෙන්නට පෙර අපිට ලැබෙයි කියලා. ඒකේ තියෙන කරුණු අනුව අපේ ඉදිරි පියවර තීරණය කරනවා." යනුවෙනි. 

ජාතික දන්ත වෛද්‍ය රෝහල ඉදිරිපිට ආරම්භ කර ඇති මෙම මාරාන්තික උපවාසයට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටිනවා.

එම සංගමයේ නියෝජිතයින් සහ රජයේ බලධාරීන් අතර ඊයේ (07) පස්වරුවේ පැවැති සාකච්ඡා බිඳවැටුණා.