Thursday, May 2, 2024

General line - 0115112241

ගීතා වෙනුවෙන් පාර්ලිමේන්තුව දැරූ වියදම් සකස් කෙරේ

හේමන්ත කහවලගේ




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මන්ත‍්‍රී ධුරය දැරූ සමයේ පාර්ලිමේන්තුව ඇය වෙනුවෙන් දැරූ වියදම් සම්බන්ධයෙන් මේ වනවිට වාර්තාවක් සකස් කරමින් තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුවේ ගණකාධිකරණ අංශය විසින්. 

2015 වසරේ අගෝස්තු මාසයේ සිට හිටපු මන්ත‍්‍රීවරියට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ වැටුප වන රුපියල් 54,285ක් මාසිකව ගෙවා තිබෙනවා.

පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව වන රුපියල් 500ක මුදල 2016 දෙසැම්බර් දක්වා ඇයට ගෙවා ඇති අතර එම දීමනාව 2017 ජනවාරී පළමු වැනිදා සිට රුපියල් 2500ක් දක්වා වැඩි කෙරුණා.

එමෙන්ම සංග‍්‍රහ දීමනාව ලෙස මන්ත‍්‍රී ධුරය දරණ සමයේ මාසිකව ඇයට ගෙවා ඇති මුදල රුපියල් දහසක්. 2015 අගෝස්තු මාසයේ සිට ඇගේ දුරකතන බිල්පත් ද පාර්ලිමේන්තුව විසින් ගෙවා තිබෙනවා.

2016 අගෝස්තු පළමු වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක සඳහා ලබාදුන් රුපියල් පනස් දහසක දුරකතන බිල්පත් දීමනාව ද හිටපු මන්ත‍්‍රීවරිය විසින් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හිමි මාසික ඉන්ධන දීමනාව හා ලිපි ද්‍රව්‍ය ගාස්තු ද ඇය විසින් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව මන්ත‍්‍රී ධුරය දරණ සමයේ ලබා දුන් ආහාර පිරිවැය ද මෙම වියදම් ලැයිස්තුවට ඇතුළත් වනවා. 

මන්ත‍්‍රී ධුරය දරණ සමයේ ඇය වෙනුවෙන් දැරූ මෙම සියලූ වියදම් පිළිබඳ පාර්ලිමේන්තුවේ ගණකාධිකරණ අංශය විසින් සකස් කෙරෙන වාර්තාවට ඇතුළත් කෙරුණු ඇති.

එම වාර්තාව ඉදිරියේ දී පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් එය නීතිපතිවරයා වෙත භාරදෙනු ඇති.

ඒ, ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඇය සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කෙරෙන්නේ නීතිපතිවරයා මාර්ගයෙන් වන බැවින්.