Friday, May 3, 2024

General line - 0115112241

තෙල් නැව ආවත් තවමත් තැන තැන පෝලිම්! අද සවස් වෙද්දී වෙන දේ මෙන්න




නෙවස්කා ලේඩි නෞකාවෙන් රැගෙන ආ පෙට‍්‍රල් තොග බෙදාහැරීම මේ වනවිට ආරම්භ වී තිබුණත්, ඇතැම් පිරවුම්හල් අසළ තවදුරටත් පෝලීම් දක්නට ලැබෙනවා. මේ,

මහනුවර නගරයේ පිරවුම් හල් අසල තවමත් පෝලිම් ඇති බව දක්නට ලැබෙනා බවත්, තවමත් ප්‍රමාණවත්පරිදි තෙල් නොමැති බව පවසමින් පාරිභෝගිකයින් මැසිවිලි නගනා බවත් නෙත් නිවුස් මහනුවර වාර්තාකරු හේරත් බණ්ඩාර ඒකනායක පැවසුවා.

නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ ඊයේ වනතෙක් දක්නට ලැබූ දිගු පෝලිම් අද දිනයේ දක්නට නැති බවයි. නමුත් පිරවුම්හල් අසල තවමත් පෝලිම් ඇතිබවද ඔහු ඳහන් කළා. එහෙත් ඇමැම් පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට පුවරු තවමත් ඇතැයිද ඔහු සඳහන් කළා. 

කොළඹ සහ අවට ප‍්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල තත්වය ද නෙත් නිවුස් සොයා බැලූවා. නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සජිත් තිලකරත්න පැවසුවේ පසුගිය දිනවල දක්නට ලැබූ තරම් දිගු පෝලිම් අද දිනයේ දක්නට නැති බවයි. පසුගියදා කොළඹ නගරයේ මාවත්වල පෙට්‍රල් වාහන ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබුනද අද වනවිට එය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු සඳහන් කරනවා.

මේ අතර ඛණිජ තෙල් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ නෙත් නිවුස් අද (10) උදෑසන කළ විමසීමක දී කියා සිටියේ දහවල් 12 පමණ වනවිට කොළඹ නගරයේ සම්පූර්ණ ඉන්ධන හිඟයම මගහැරී යනු ඇති බවයි. සවස 06 පමණ වනවිට රට පුරා පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවනු ඇතැයි ද ඔහු කියා සිටියා.