ගම්පහ මහාධිකරණ සිරමැදිරියේ දී සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු කිසියම් විෂ සහිත පානයක් ශරිර ගත කර ගැනීමෙන් රෝගාතුරු වී අද (10) රෝහල් ගත කර තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ මිනි මැරීමට තැත්කිරිමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසර 5ක සිරදඬුවමක් අද ගම්පහ මහාධිකරණයේ දී නියම කිරිමෙන් අනතුරුව එම පුද්ගලයා කිසියම් විෂ සහිත පානයක් මේ ආකාරයෙන් ශරිර ගත කරගෙන ඇති බවයි.
වහාම ක්‍රියාත්මක වූ මීගමුව බන්ධනාගාර නිලධාරින් රෝගාතුර වූ එම පුද්ගලයාව ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ විෂ සහිත පානයක් ශරිර ගත කරගෙන ඇත්තේ සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
2010 වසරේ අප්‍රේල් මස 21 වන දින මෙම පුද්ගලයා විසින් සපුගස්කන්ද පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් රාජකාරියේ සිටි අවස්ථාවේ දී පිහියෙන් ඇණ ඝාතනය කිරිමට තැත්කර තිබු බවයි චෝදනා එල්ල වුණේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 2015 වසරේ දී මොහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ද ගොනු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇති අතර දැනට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන මොහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.