Saturday, July 27, 2024

General line - 0115112241

ධර්ම ප්‍රචාරයට යන මුවාවෙන් කාන්තාවක් රට පටවන ජාවාරමක් හෙළි වුණු හැටි




ධර්ම ප්‍රචාරය සඳහා ඩුබායි රටට යන බව පවසමින් කලක සිට නීතිවිරෝධී අයුරින් කාන්තාවන් විදෙස් ගත කිරීමට උත්සහ කළ චීවරධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දින (09) කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැකකටයුතු ලෙස හැසිරුණු කතුන් දස දෙනෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන් ගෘහ සේවය සඳහා විදේශ ගත වන අතර චීවර ධාරියෙකුගේ ආධාර මත තමන් විදේශගත වීමට නියමිතව ඇති  බවයි.

චීවරධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන් මෙම කාන්තාවන් දසදෙනා ඩුබායිහි ධර්ම දේශනයකට සහභාගි කරවාගෙන එතැනින් නේපාල රටේ වන්දනා චාරිකාවක රැගෙන යන බවයි.

එහිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් වන්නේ වඩුගොඩ, මීගොඩමුල්ල ජයසිරි විහාරවාසී පල්ලදෙණියේ රතනසිරි හිමි, බොරැල්ල සහස්‍රපුර පදිංචි හෙට්ටිආරච්චිගේ සුරංජිත් හා ඔහුගේ ඥාති සොයුරෙකු වන වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි සසිත සංකල්පන යන අයයි.

මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවුයේ මීට පෙරද සිව් වතාවක් කාන්තාවන් මෙලෙස ඩුබායි ගෘහසේවයට රැගෙන ගොස් ඇති බවයි.

මෙලෙස ව්‍යාජ තොරතුරු සපයමින් කතුන් විදේශ ගතකර ඇත්තේ වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින බැවින් එවැනි කාන්තාවන්ට රැකියාවක් සඳහා විදේශ ගතවීමට නොහැකි නිසා බවයි පරික්ෂණවලදී අනාවරණය වුණේ.

මෙම කාන්තාවන් වන්දනා ගමනකට සුදුසු වන පරිදි සුදුවතින් සැරසී පැමිණ සිටි බව සඳහන්.

සැකකාර හිමිනම විසින් මෙම කාන්තාවන්ට රු.5000 බැගින් මුදල් ලබාදී තිබෙන අතර, මේ සඳහා සහය වූ අනෙක් සැකකරුවන් දෙදෙනාට රු.10000 බැගින් ලබාදී තිබෙනවා.

කාන්තාවන් විදෙස් ගතවී සති දෙකකට පසු පවුලේ ඥාතීන්ට රු.75000 බැගින් ගෙවීමටද පොරොන්දු වී ඇති බව සඳහන්.

මෙම කාන්තාවන්ට රු.40000ක බැගින් මාසික වැටුපක්ද ලබාදෙන බව පවසා තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින (10) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ සඳහන් කළේ, මෙවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොලබා නීතිවිරෝධී මිනිස් ජාවාරමට එරෙහිව කාර්යාංශ පනත අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

මෙවැනි වංචනික පුද්ගලයින්ට නොරැවටෙන ලෙසත්, කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව විදේශ රැකියාව සඳහා ගොස් විවිධ කරදරවලට ලක්විය හැකි බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

එසේ වුවහොත් ඒ සඳහා කාර්යාංශයට මැදිහත් විය නොහැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් පැවසුවා.

බෞද්ධ භික්ෂුවක ලෙස මෙම ස්වාමීන් වහන්සේ සිදුකර ඇති ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඒ තුළින් ශාසනයට පවා දැඩි හානියක් සිදුවන බවයි අමාතවරිය පෙන්වා දුන්නේ.