Thursday, May 2, 2024

General line - 0115112241

රාජ්‍ය සේවය හකුලන්න දැයි සැකයක්! චාපා මතුකරයි




රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන ඇතැම් සේවා සදහා වන ගාස්තු සියයට 15 කින් වැඩි කිරීම මෙවර අයවැයෙහි ඇතුළත් එක් යෝජනාවක්. එහෙත් ගාස්තු වැඩි කිරීමට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ රාජ්‍ය සේවයේ ඇති ප‍්‍රමාදයන් ඇතුළු අකාර්යක්‍ෂමතා වහාම නිවැරදි කිරීම බවයි සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර පැවසුවේ. ගුණාත්මකභාවය වැඩි නොකරන ගාස්තු පමණක් වැඩි කිරීම අවනීතයක් බව ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සදහා කළයුතු දේ පිළිබදවද මෙහිදී යෝජනා ඉදිරිපත් කෙරුණා. 

 

රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි නොකර ගාස්තු පමණක් වැඩි කිරීම රාජ්‍ය සේවය හකුලා දැමීමේ තවත් උත්සාහයක් දැයි සැක සිතෙන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. මෙවැනි යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි විදේශීය ආයතනවල උවමනාවක්ද විය හැකි බවයි චාපා බණ්ඩාර වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර අයවැය යෝජනා වැඩිදුරටත් විස්තර කිරීම සදහා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ වසර 3 ක් ඇතුළත සංශෝධනය වී නොමැති රජයේ සේවා ගාස්තු පමණක් මේ යටතේ වැඩි කෙරෙන බවයි. ඊට අයත් සේවා ගාස්තු මොනවා දැයි ද අමාත්‍යවරයා ඉඟි පළ කළා.

හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, වනෝද්‍යාන, සත්වෝද්‍යාන, උද්භිද උද්‍යාන ගාස්තු මෙන්ම, තැපැල් ගාස්තු, අධිකරණ ගාස්තු මේ අතර වනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම ගාස්තු වුවද වැඩිකරනුයේ ඉකුත් වසර 03 තුළ වැඩිවී නැත්නම් පමණක් බවය. 

ඕනෑම සේවාවක ගාස්තු කාලීනව සංශෝධනය කිරීම අවශ්‍යතාවක් බවද මෙහිදී අවධාරණය කෙරුණා.